BREAKING NEWS
Search

“ඉරානය ට්‍රම්ප්ව මරා දැමීමට උත්සාහ කළා” – අමෙරිකානු හමුදාවෙන් ප්‍රකාශයක්

47
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන ඒකකයක ප්‍රධානියා ලෙස කටයුතු කළ ඉරාන නිලධාරියෙකු තමන් විසින් ඝාතනය කළ බව අමෙරිකානු හමුදාව නිවේදනය කර තිබෙනවා.

පෙන්ටගනයේ පැවති මාධ්‍ය හමුවකදී අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) මෙම තොරතුරු අනාවරණය කර ඇති බවයි බීබීසී පුවත් සේවය සඳහන් කරනවා.

පසුගිය අඟහරුවාදා, අමෙරිකාව විසින් ජනාධිපති ට්‍රම්ප්ව ඝාතනය කිරීමට උත්සාහ කළ ඒකකයේ නායකයාව “ලුහුබැඳ ගොස් ඝාතනය කළ” බව හෙග්සෙත් වැඩිදුරටත් සඳහන් කළ නමුත්, එම පුද්ගලයා කවුරුන්ද යන්න හෙළි කර නොමැත.

කෙසේ වෙතත්, 2024 වසරේදී, ට්‍රම්ප් බලයට පත්වීමට පෙර ඔහුව ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන ඉරාන කුමන්ත්‍රණයකට සම්බන්ධ ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකුට එරෙහිව අමෙරිකානු රජය චෝදනා එල්ල කර තිබුණා.

51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි (Farhad Shakeri) නැමැති එම පුද්ගලයාට ට්‍රම්ප්ව මරා දැමීමේ සැලසුමක් සකස් කිරීමට පවරා තිබූ බව අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කළා.

ෂකේරි ඉරානයේ සිටින බවට එවකට විශ්වාස කෙරුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එමෙන්ම අමෙරිකානු නීතිපති මෙරික් ගාර්ලන්ඩ් (Merrick Garland) හෙළි කළේ, “ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ඉලක්කයන්ට එරෙහිව ඉරාන ඝාතන කුමන්ත්‍රණ දියත් කිරීම සඳහා අපරාධකරුවන් මෙහෙයවීමට පත් කළ ඉරාන පාලනයේ නියෝජිතයෙකුට අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා නගා ඇති” බවයි.

එම අවස්ථාවේදී ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බාගෙයි (Esmaeil Baghaei) ප්‍රකාශ කළේ අමෙරිකානු ජනාධිපතිවරුන් ඝාතනය කිරීමට උත්සාහ කළ බවට මීට පෙරද මෙවැනි චෝදනා එල්ල වූ බවත්, ඒවා අසත්‍ය බව පසුව ඔප්පු වූ බවත්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *