මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ, මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධන කටයුතු සොයාබැලීමට සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව මෙන්ම සුභසාධනය වෙනුවෙන් ද රජය විශේෂ මෙහෙයුම් මාලාවක් දියත් කර තිබේ.
අද දින(01) සවස ජනාධිපති කාර්යාලයේදී සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ ජනාධිපති ලේකම් ආචර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණ ගනු ලැබීය.
සංචාරකයන් සඳහා වීසා සහන සහ පහසුකම්
දැනට දිවයින තුළ රැඳී සිටින සංචාරකයන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සලකා බැලූ රජය, ඔවුන්ගේ වීසා වලංගු කාලය සති දෙකකින් (දින 14) ගාස්තුවකින් තොරව දීර්ඝ කිරීමට තීරණය කර ඇත. තවද අවශ්‍යය වේ නම් තවදුරටත් දීර්ඝ කිරීමට සලකාබලනු ඇත. මෙරට රැඳී සිටින සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුභ සාධන කටයුතු සොයා බැලීමටත් විදේශ අමාත්‍යාංශය හරහා අදාළ තානාපති කාර්යාල සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධ කඩිනම් වැඩපිලිවෙලක් සැකසීමටත් මෙහිදී තීරණය විය.
මීට අමතරව මැදපෙරදිග රටවල් කිහියක ගුවන් අවකාශ වසාදැමීම නිසා ඇතිවී තිබෙන අවහිරතා සැලකිල්ලට ගනිමින්, විදේශ අමාත්‍යාංශය සහ ගුවන් සමාගම් ඒකාබද්ධව, විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ සංචාරකයන්ට සිය රටවල් බලා යාමට ඇති හැකියාව සලකා බැලීමටද තීරණය විය.
එසේම මෙරටට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයන්ට බාධාවකින් තොරව පැමිණීමට විකල්ප ගමනාන්ත පිළිබදව අදාල පාර්ශව සමග සාකච්ඡා කිරීමටද සහ ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට ද තීරණය විය.
සක්‍රීය මෙහෙයුම් මැදිරි සංචාරකයන්ගේ සහ ශ්‍රමිකයන්ගේ සහාය සඳහා රජ්‍යය ආයතන කිහිපයක් හරහා පැය 24 පුරා ක්‍රියාත්මක සේවාවන් ස්ථාපිත කර ඇත.
සංචාරක සංවර්ධන අධිකාරිය – මෙරට රැඳී සිටින සංචාරකයන් සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අතර, 1912 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඕනෑම ගැටලුවක් දැනුම් දිය හැකිය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය – විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ තොරතුරු සහ සහාය ලබා දීමට 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක වේ.
මීට අමතරව විදේශ අමාත්‍යාංශය මැදිහත් වී මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ පිහිටි සියලුම ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කර ඇත.
හදිසි අවස්ථාවකදී කඩිනම් ප්‍රතිචාර දැක්වීමටත්, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් සියලුම තානාපති කාර්යාල සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානම්ව සිටියි.
තවද සංචාරකයන්ගේ අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු බාධාවකින් තොරව සිදුකීරීමටත්, පවතින තත්ත්වය මත පදනම්ව කඩිනම් තීරණ ගැනීමටත් රජය සියලු කටයුතු සූදානම් කර ඇති බව මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.




















