මාධ්‍යවේදීන් ඉවත් කිරීමට සිදු කළ ඉල්ලීමක් සභාපති විනිසුරු ජනක් ද සිල්වා ඇතුළු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම පිළිගත් පසු, රනිල් වික්‍රමසිංහ විසින් සුරේෂ් සලේ සම්බන්ධයෙන් කොමිසමට කරුණු රැසක් පවසා ඇත. සලේ අන්තවාදී කණ්ඩායම් පෝෂණය කිරීමට පෞද්ගලිකව මෙන්ම යුද හමුදා බුද්ධි අංශය මඟින් මැදිහත් වූ ආකාරයත්, ඒ ගැන තමන් දන්නා අනෙකුත් තොරතුරුත් එහිදී රනිල් වික්‍රමසිංහ පැවසූ බව වාර්තා විය. එහෙත් ඒවා පාස්කු කොමිෂන් වාර්තාව තුළ රහසිගත ලේබලය යටතේ තැබිණි.
කවුද මේ සලේ ?
ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අධ්යක්ෂවරයා ලෙසත්, රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා ලෙසත් සුරේෂ් සලේ කටයුතු කර ඇත. මේජර් ජෙනරාල්වරයෙකු ලෙස කටයුතු කළ ඔහු, දැන් විශ්‍රාමික ය. 1987 හෝ ඒ ආසන්න වර්ෂයකදී යුද හමුදාවට බැඳී ඇති ඔහු, 1993 වසරේ සිට යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කර ඇත. 2012 වසරේදී යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙස පත් කළ ඔහු, 2016දී ඉන් ඉවත් කෙරිණි. ඉන්පසු මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේත්, ඉන්දියාවේත් ගත කළ ඔහු, 2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ධුරයට පත්කෙරිණි. ඔහු එම තනතුරින් ඉවත් කරන ලද්දේ 2024 සැප්තැම්බර් 21දා පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ය.
ඊයේ (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කිරීම සහ ඊට අනුබල දීම පිළිබඳ සැකය මතය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කළ රඳවා තබාගැනීමේ නියෝග මත සුරේෂ් සලේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් තිබේ.
දර්ගා නගරයේ පහරදීම
සුරේෂ් සලේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුරය දරමින් සිටියදී ය, අලුත්ගම – දර්ගා නගරයේ සිංහල – මුස්ලිම් ප්‍රශ්නයක් මතුවූයේ. 2014 ජුනි මාසයේ මේ සිදුවීම ඇරඹෙන්නේ භික්ෂූන් වහන්සේ නමක මාර්ගයේ යන විට මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු පහර දුන් බවට එල්ල වූ චෝදනාවකින් ය. මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කරන ලදි. විවිධ සංවිධාන මේ සම්බන්ධයෙන් හඬනැඟූ අතර, බොදු බල සේනා සංවිධානය සිකුරාදා පස්වරුවේ විශේෂ රැස්වීමක් සංවිධාන කළේය. මේ රැස්වීමට මුලදී ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් විරුද්ධ වුවද, පසුව අනුමැතිය දීමට සිදු විය.
පහරදීමට ලක්වූ භික්ෂූන් වහන්සේ සමඟ සිකුරාදා පස්වරුවේ ඉස්ලාම් පල්ලිය ඉදිරියෙන් පෙරහරක් ගියේය. එහිදී ඇති වූ ප්‍රශ්නය බැරෑරුම් වූ අතර, මුස්ලිම් කඩ ගිනි තැබීම, වෙඩි තැබීමක් මෙන්ම මරණ කිහිපයක් ද සිදු විය. අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. ගිනි තැබීම්වලට සම්බන්ධ පිරිසක් එවකට කළුතර දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රන්ගේ උපදෙස් මත අත්අඩංගුවට ගැනිණි. ඔවුන් ආරක්ෂක අංශවල පිරිසක් වූ අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් කර සිටි මේ පිරිස ඉහළින් පැමිණි නියෝගයක් මත හදිසියේම නිදහස් කෙරිණි. නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ පිළිබඳ සටහන් යොදා තිබූ අතර, ඔහු පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ද මේ පිළිබඳව ප්‍රකාශ දී තිබේ.
මේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමට ආගමික නායකයන්, නීතිඥවරුන් වන අලි සබ්රි, හිජාස් හිස්බුල්ලා, ශිරාස් නූර්දීන්, මාධ්‍යවේදී එන්.එම්. අමීන් ඇතුළු මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන විද්වතුන් පිරිසක් සහ ආරක්ෂක අංශ නියෝජිතයෝ රැසක් අලුත්ගමට එක්වූහ. මේ සඳහා සුරේෂ් සලේ ද සහභාගි විය. එම සාකච්ඡාවේදී නීතිඥ හිජාස් හිස්බුල්ලා විසින් චෝදනා කරන ලද්දේ දර්ගා නගරයේ සිදුවීම් පිටුපස බුද්ධි අංශ සිටින බවටයි. මෙහිදී සුරේෂ් සලේ සහ හිජාස් හිස්බුල්ලා අතර උණුසුම් සංවාදයක් ඇති වූ අතර, සලේගේ මැදිහත්වීමෙන් හිස්බුල්ලා සාකච්ඡාවෙන් ඉවත් කරන ලදි.
ප්‍රගීත් එක්නැලිගොඩ
2015 ජනවාරි 26දා පැවති ජනාධිපතිවරණයට දින 02කට පෙර, එනම් ජනවාරි 24 වැනිදා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කෙරිණි. මේ ප්‍රගීත් එක්නැලිගොඩ ය, රාජපක්ෂ පවුල් ගස ලිව්වේ, ඇන්දේ. 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵලයට එහි තීරණාත්මක බලපෑමක් ද විය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු වූ අරුන්දික ප්‍රනාන්දුත්, හිටපු නීතිපති මොහාන් පීරිස් වැනි අයත් කිව්වේ එක්නැලිගොඩ අතුරුදන් වී නැති බවත්, ඔහු විදේශ රටක ජීවත්වන බවත් ය. අධිකරණයට කැඳවීමෙන් පසු ඔවුන් කිව්වේ මිතුරෙක් ඒ බව කී බවයි. ඒ කතාවලට අදාළ කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරන්නට ඔවුන් සමත් වූයේ නැත.
2015 යහපාලන ආණ්ඩුව කාලයේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආරම්භ කෙරිණි. මෙහිදී දුරකතන විශ්ලේෂණ වාර්තා පිළිබඳ දැඩි අවධානයක් යොමු කෙරිණි. එහිදී අනාවරණය වූයේ මීට බුද්ධි අංශ සම්බන්ධතාවක් ඇති බවයි. ඒ පිළිබඳ තොරතුරු විමර්ශනය කිරීමට ගත් උත්සාහයන් එවකට යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා වූ සුරේෂ් සලේ විසින් වළක්වන ලදි. එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මේ පිළිබඳව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. අධිකරණයෙන් සුරේෂ් සලේ කැඳවීය. අධිකරණයෙන් ඔහුට අවවාද කළේ විමර්ශනවලට සහයෝගය ලබාදෙන ලෙසයි. එහෙත් ඔහු එවැනි සහයෝගයක් දුන්නේ නැත. නැවත සලේ කැඳවිණි. මෙසේ විමර්ශන ඉදිරියට යන විට හදිසියේම විශාල ප්‍රචාරයක් කරළියට ආවේය. ඒ, එක්නැලිගොඩ එල්ටීටීඊකාරයකු බවයි.
කෙසේ වෙතත් රජයේ ආයතන 10ක තොරතුරු මත කරන ලද විමර්ශනයට අනුව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊ ත්රස්තවාදයට සම්බන්ධ වී හෝ ඊට අනුබලදීමක් හෝ කර නැති බවත්, ඔහුට එරෙහිව කිසිදු ආයතනයක් හරහා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය. එහෙත් ප්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊයෙන් මුදල් ලබා ගත් බවත්, ඔහු මරාගෙන මැරෙන බෝම්බ කට්ටල සඟවන්නට උදවු කළ බවත් ඇතුළු බරපතළ චෝදනා රැසක් යුද හමුදා බුද්ධි අංශය මඟින් ප්‍රසිද්ධ කෙරිණි. ඒ අතරවාරයේ මේ සිද්ධියට සම්බන්ධ ගිරිතලේ යුද හමුදා බුද්ධි කඳවුරේ ලිපිගොනු සඟවන්නට ද උත්සාහ දැරූ බවට චෝදනා එල්ල විය.
සලේ මැලේසියා යයි
2016 වසර අගදී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කරන ලද්දේ යුද හමුදා බුද්ධි අධ්යක්ෂවරයා රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් සිදු කරන බවටයි. ඒ අනුව එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2016 නොවැම්බර් මාසයේදී ඔහුව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කරන ලද අතර, 2016 දෙසැම්බර් 01 හෝ ඊට ආසන්න දිනකදී ඔහු මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජකාරි සඳහා පිටත්ව ගියේය.
ඉන්පසු නැවතත් සලේ ලංකාවට පැමිණියේ 2017 නොවැම්බර් 04දා හෝ ඊට ආසන්න දිනක ය. 2017 නොවැම්බර් අවසානයේ යළිත් ඔහු ලංකාවෙන් පිටත්ව ගියේය.
දිගන ප්‍රහාර සහ මාර්තු කුමන්ත්‍රණය
2018 පෙබරවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්විණි. ඒ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියට ආවේය. ඊට මාසයකට පසු, 2018 මාර්තු 04 සිට 06 දක්වා මහනුවර, දිගන මුස්ලිම් ප්‍රජාවට පහරදීම් යළිත් සිදු විය. එහිදී වෙළෙඳසල් ගිනිබත් කෙරිණි. පොලීසිය ඒවාට ඉඩදී බලා සිටි බවටත්, බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සහ යතුරුපැදි පොලීසිය අතරින් නිදහසේ එහෙ – මෙහෙ ගිය බවටත් වාර්තා කෙරිණි. එම පහරදීම්වලට ආරක්ෂක අංශ සහාය ලැබුණු බවට වාර්තා විය. මේවා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මඟින් එම පහරදීම් ගැන කළ විමර්ශනයේදී ලද සාක්ෂි අතර විය.
මේ අතර 2018 මාර්තු අවසානයේදී මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක විය. සුසිල් ප්‍රේමජයන්ත, තිලංග සුමතිපාල ඇතුළු දේශපාලනඥයන් පිරිසක් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණගැසෙමින් කිව්වේ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර, මහින්ද රාජපක්ෂ ඒ තැනට පත්කරන ලෙසයි. එහෙත් එවකට ජනාධිපතිවරයා සමඟ සමීපව සිටි රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මෙන්ම ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ පිරිසක් ද මීට විරෝධය පළකර තිබිණි.
ඒ අතරවාරයේ හදිසියේ නාමල් කුමාර කෙනකු මතු වූ අතර, ඔහු පවසා තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් ඇති බවයි. ඒ පිටුපස එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඇති බව ද මේ නාමල් කුමාර කිව්වේය. එහෙත්, අවසානයට විමර්ශන මඟින් තහවුරු වූයේත්, අධිකරණයට කරුණු දැක්වූයේත් සහකාර පොලිස් අධිකාරිවරයකු ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව පමණි.
පසුව 2018 ඔක්තෝබර් 26දා ව්‍යවස්ථා විරෝධී ලෙස අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ පත්කෙරිණි.
මාවනැල්ල බුදු පිළිම සිද්ධිය
2018 දෙසැම්බර් මාසයේදී සුරේෂ් සලේ නැවතත් ලංකාවට ආවේය. 2019 ජනවාරි 03දා ඔහු යළිත් ඉන්දියාවට ගියේ පාඨමාලාවකට බව පැවසිණි. මේ අතරවාරයේ ය, මාවනැල්ල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක බුදුපිළිමවලට හානි වූයේ. හරියටම 2018 දෙසැම්බර් 24 – 26 අතර ය. එවකට කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනගේ උපදෙස් මත මීට අදාළ විමර්ශන ඇරඹිණි. එම විමර්ශනවලදී අනාවරණය වූයේ සහරාන් නම් තැනැත්තකු මේ බුදුපිළිම සිදුවීමට සම්බන්ධ බවයි. එහෙත් කුමක් හෝ හේතුවක් මත සහරාන් නමැත්තකු මේ සිදුවීම්වලට සම්බන්ධ බව විමර්ශකයන් විසින් අධිකරණයට වාර්තා කර තිබුණේ නැත.
පිල්ලෙයාන් සහ පාස්කු ප්‍රහාරය
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ 2025 මාර්තු 08දා ය. ඔහු අත්අඩංගුවට ගත්තේ නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය රවීන්ද්‍රනාත් ශිවසුබ්‍රමනියම් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙනි.
2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වන අවස්ථාව වන විට පිල්ලෙයාන් සිටියේ මඩකලපුව බන්ධනාගාරයේය. 2015 වසරේදී ඔහු අත්අඩංගුවට ගත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙනි. කෙසේ වෙතත් නීතිපතිවරයා විසින් හදිසියේ නඩුව අවසන් කරන බව අධිකරණයට දැනුම් දීම නිසා පිල්ලෙයාන් එළියට ආවේය. මඩකලපුව සියොන් දේවස්ථානයේ ද පාස්කු බෝම්බයක් පිපිරීය. ඒ වන විට ඔහු සිටියේ මඩකලපුව බන්ධනාගාරයේ ය.
මේ ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන් ජනාධිපති කොමිසමට දුන් සාක්ෂියේ මෙසේ සඳහන් වේ.
“ඔව්. මට හොඳට මතකයි. එදා උදේ මහ සිකුරාදා. (ඔහුට එහිදී පාස්කු ඉරිදා සහ මහ සිකුරාදා පැටලී තිබිණි. පසුව එය නිවැරදි කෙරිණි.) මං අවුරුදු හතරක් බන්ධනාගාරයේ හිටපු නිසා මං දන්නවා, හැම මහ සිකුරාදා දවසකම බිෂොප්තුමා බන්ධනාගාරයට පැමිණෙන බව. ජනවාරි පළමුවැනිදා, අප්‍රේල් 14 අවුරුදු දවසෙ, නත්තල් දවසෙ බිෂොප්තුමා එනවා. මම ඒ පූජාවට සහභාගි නොවුණත් බිෂොප්තුමා ආවහම මාත් එක්ක කතා කරලා තියෙනවා, අවස්ථා දෙකකදි.
එදත් අපි ඔහුව බලාපොරොත්තුවෙන් හිටියා. ඒත්, එක්කම බෝම්බ පිපිරෙන සද්දයක් ඇහුණා. ඒක බ්‍රිතාන්‍ය කාලෙ පරණ ගොඩනැඟිල්ලක්. ඒකෙ තමයි බන්ධනාගාරය තිබුණෙ. මම සාමාන්‍යයෙන් උදේ නවයට උදේ කෑම ගන්නවා. මම උදේ කෑමට ලෑස්ති වෙන අවස්ථාවේදී පිපිරීමෙන් කාමරයේ තිබුණු ලෑල්ලෙන් හුළං පාරක් ආවා වගේ මට දැනුණා. මම විමුක්ති සංවිධානයක සාමාජිකයෙකු විදිහට හිටපු නිසා මට දැනුණා, මෙතැන බෝම්බ ප්‍රහාරයක් වෙලා තියෙනවා කියලා. එතකොට මට හිතුණා අද බිෂොප්තුමා එන්නෙ නෑ කියලා. මම බන්ධනාගාර නිලධාරියකුගෙන් ඇහුවා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරලා කිව්වා. ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරුණා නම් ගින්නක් ඇතිවෙන්න ඕනෙ, විදුලිය විසන්ධි වෙන්න ඕනෙ. මං කිව්වා මේක එහෙම එකක් නෙමෙයි කියලා.’
එනම් පිපිරීමෙන් පසු මෙය බෝම්බයක් බව ඔහු නිශ්චිතව දැනගෙන තිබේ. එසේම එය කතෝලික පල්ලියක පිපිරීමක් බවත් ඔහු දැන සිටි බවක් පෙනේ. බිෂොප්වරයා නොපැමිණෙන බවටත් ඔහුට අදහසක් තිබී ඇත.
අල්ලියාර් හන්දියේ සහරාන්
2017 වසරේ මාර්තු 10 වැනිදා කාත්තන්කුඩි, අල්ලියාර් හන්දියේදී ගැටුමක් ඇති විය. මේ ගැටුම ඇතිවූයේ සහරාන්ගේ කණ්ඩායමත්, රාවුෆ් මවුලවිගේ කණ්ඩායමත් අතර ය. සහරාන් එහි පැමිණ ගැටුමට සම්බන්ධ වී ඇත. පහර දී තිබේ. ඊට සාක්ෂි ලෙස ඡායාරූප ද ඇත. සහරාන්ගේ සහෝදරයා වූ රිල්වාන් සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ෂයිනි මවුලවි ද එහි පැමිණ තිබේ.
මේ ගැටුමෙන් පසු සහරාන් එතැනින් පලාගොස් ඇත. මේ සිදුවීම සම්බන්ධයෙන් සහරාන්ගේ පියා සහ ඔහුගේ සහෝදරයා පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයෙන් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු, ඔවුන් මාස පහක කාලයක් පිල්ලෙයාන් සමඟ එකට සිට ඇත. මේ අතරින් ෂයිනි මවුලවි වැඩියෙන්ම පිල්ලෙයාන් සමඟ සමීප ව කටයුතු කර තිබේ. පිල්ලෙයාන් මේ ගැන ජනාධිපති කොමිසම ඉදිරියේ පවසා ඇත.
පිල්ලෙයාන්ගේ ලේකම්වරයකු වූ හන්සීර් අසාද් මවුලානා යනු පිල්ලෙයාන්ගේ පක්ෂයේ විධායක කමිටුවේ සිටි අයෙකි. පිල්ලෙයාන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ය. පසුව පෞද්ගලික ලේකම්වරයා ය. පිල්ලෙයාන් බැලීමට බන්ධනාගාරයට නිතර පැමිණි අයෙකි. මේ අසාද් මවුලානා යනු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කළ ඉමාම් කමිටු වාර්තාවේ නව වැනි පිටුවට අනුව අසාද් මවුලානා සහ පිල්ලෙයාන් අතර අතිශය සමීප සම්බන්ධතාවක් තිබී ඇත. එසේම සහරාන් සහ අසාද් මවුලානා අතර සම්බන්ධතාවක් තිබූ බවටත්, එමනිසා මවුලානා රටින් පිටවූ බවටත් ඉමාම් කමිටු වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
මේ කමිටු වාර්තාවේ 10 වැනි පිටුවේ දැක්වෙන්නේ රිල්වාන්, එනම් සහරාන්ගේ සහෝදරයාට 2018දී ප්‍රතිකාර කළ වෛද්‍යවරයා සහ අසාද් මවුලානා කාත්තන්කුඩි, මරදමුනේ ප්‍රදේශයේ එකට ජීවත්වූ අසල්වාසීන් ය. එසේම දෙහිවල එබනිසා පෙදෙසේ ද ඔවුහු අසල්වාසියෝ ය. එහි නිවාස දෙකක් දෙදෙනාට ම තිබී ඇත. මේ වෛද්‍යවරයා ෂෆ්රාස් ය. ඔහුට 2018 අගෝස්තු 27 වැනිදා අලුයම දුරකතන ඇමතුමක් ලැබී තිබේ. එම ඇමතුම ලැබී ඇත්තේ විදේශ රටක සිටි මොහොමඩ් අල්ලියාර් මවුෂූද් රිලාගෙන් ය.
ජනාධිපති කොමිසමේදී වෛද්‍ය ෂෆ්රාස් පවසා ඇති ආකාරයට රිලා කතා කර පවසා ඇත්තේ තුවාල ලත් පුද්ගලයකුට ප්‍රතිකාර කළ හැකිද යනුවෙනි. මේ තුවාලවලට හේතුව ලෙස දක්වා ඇත්තේ ගෑස් සිලින්ඩරයක් පිපිරීමයි. දුරකතන ඇමතුමෙන් පසු වෙනත් අයෙකු එහි ඡායාරූප ද වෛද්‍යවරයාට එවා ඇත. එහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ වහාම තුවාලකරු කොළඹ, ජාතික රෝහලට ඇතුළු කරන ලෙසයි. මේ තුවාල ලබා ඇත්තේ රිල්වාන් ය. එනම් සහරාන්ගේ සහෝදරයා ය. ඔහුට ප්‍රතිකාර කිරීමට ඡායාරූප එව්වේ කවුද යන්න තවමත් අනාවරණය කරගෙන නැත. දුරකතන ඇමතුම ගත් රිලා නමැත්තා සහ වෛද්‍යවරයා එකම පාසලේ ය. වෛද්‍යවරයා විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබද්දී රිලා ගණිත අංශයේ ය.
සහරාන් සමඟ ගිය තිදෙනා
රිලා නමැත්තා ලංකාවට පැමිණ 2018 දෙසැම්බර් මාසයේදී මේ වෛද්‍යවරයා මුණගැසීමට ගොස් තිබේ. ඔහු වෛද්‍යවරයා හමුවීමට ගොස් ඇත්තේ සහරාන් සහ තවත් තිදෙනකු සමඟය. සහරාන් සමඟ එහි ගියේ කවුද යන්න සම්බන්ධයෙන් ද මෙතෙක් අනාවරණය වී නැත. මේ වෛද්‍යවරයා 2019 මාර්තු 06 වැනිදා විදේශ ගත වී ඇත. නැවත මාර්තු 16 ඔහු ලංකාවට පැමිණ තිබේ. ඔහුට එවූ අදාළ තුවාල ලත් පුද්ගලයාගේ ඡායාරූප මකා දමා ඇති බව ද වෛද්‍යවරයා ජනාධිපති කොමිසමේදී පිළිගෙන ඇත. ඊට හේතුව ලෙස ඔහු පවසා ඇත්තේ දුරකතනයේ ඉඩ මදිවීම ය. වෛද්‍යවරයාගේ කොළඹ නිවසේදී ය, සහරාන් ඇතුළු පිරිස 2018 දෙසැම්බර් මාසයේදී ඔහු හමුවී ඇත්තේ. ඔහුගේ කොළඹ නිෙවස යනු දෙහිවල, එබනිසා පෙදෙසේ පිහිටි අසාද් මවුලානාගේ නිෙවස ආසන්නයේ පිහිටි නිෙවසයි. ඉමාම් කමිටු වාර්තාවේ ද මේ නිවාස කතාව ගැන ඇත.
පාස්කු කොමිෂන් සභා වාර්තාවට අනුව ප්‍රහාරය සිදු වන අවස්ථාව වන විට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ වූ චූලා කොඩිතුවක්කු පවසා ඇත්තේ මේ කාලයේදී සහරාන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගොස් සිටි බවකි. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන වාර්තා අනුව සහරාන් මේ කාලයේදී ඉන්දියාවට ගොස් නැත. එසේ නම් චූලා කොඩිතුවක්කු ජනාධිපති කොමිසමට එසේ කීවේ ඇයි? නැතහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසත්‍ය කරුණු ඔස්සේ විමර්ශන කරන්නේද? එසේත් නැත්නම් සහරාන් 2018 දෙසැම්බර් මාසයේදී කොළඹට පැමිණ සිදු කළ සාකච්ඡා හෝ හමුවීම් වසන් කිරීමේ අවශ්‍යතාවක් කාට හෝ තිබිණි ද?
විනිසුරු ඉමාම් කමිටු වාර්තාවට අනුව ෂෆ්රාස් නම් වෛද්‍යවරයාට විදේශගත වීමට සහාය ලබාදී ඇත්තේ ද අසාද් මවුලානා ය. එනම් පිල්ලෙයාන්ගේ ලේකම්වරයා ය. මේ අසාද් මවුලානා විසින් සලේට චෝදනා කර තිබුණේ ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවටයි. ඒ පිළිබඳ වෙනම විමර්ශනයක් ද ක්‍රියාත්මක ය.
ජමීල්ගේ කතාව
පිල්ලෙයාන්ගේ ලේකම් අසාද් මවුලානා පවසන්නේ පාස්කු ප්‍රහාරය දිනයේ සලේ විසින් දුරකතනයෙන් තමන් අමතා ජමීල්ව ගන්නා ලෙස පැවසූ බවයි. ජමීල් යනු ටාජ්හි බෝම්බය පුපුරා ගැනීමට ගොස්, කුමක් හෝ හේතුවක් නිසා පුපුරුවා නොගත් බෝම්බකරු ය. ඉන්පසු ඔහු යන්නේ දෙහිවල එබනිසා පෙදෙසට ය. අසාද් මවුලානාගේ නිෙවස ඇත්තේ ද එම පෙදෙසේ ය. වීඩියෝ සාක්ෂිවලට අනුව ජමීල්ගේ අතේ දුරකතනයක් ඇත. පසුව එය අස්ථානගතවී තිබේ. මේ සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් 200කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඒවා විමර්ශකයන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
සලේගේ සාක්ෂිය
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේදී සුරේෂ් සලේ විසින් පිළිගත්තේ තවුහිද් ජමාත් සංවිධානයේ පිරිස් සහ බොදු බල සේනා සංවිධානයේ පිරිස් එකට කැඳවා සාකච්ඡා කළ බවයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ කාර්යාලයට ශ්‍රී ලංකා තවුහිද් ජමාත් නායක අබ්දුල් රාසික් සහ සලේ පැමිණි බවට සාක්ෂි ඉදිරිපත් වී තිබේ. කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී සලේ පිළිගෙන තිබුණේ නැඟෙනහිර බුද්ධි ප්‍රධානීන් සහරාන් පිළිබඳව තොරතුරු ලබාදුන් බවයි. එසේ ම බුද්ධි අංශවල පිරිස් බෝම්බකරුවන්ගේ කණ්ඩායම්වල සිටි බව ද ඔහු මෙහිදී පවසා තිබිණි.
සාරාගේ තුන්වැනි ඩීඑන්ඒ වාර්තාව
2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි ප්‍රධානී ධුරයට පත් කෙරිණි. ඉන්පසු පාස්කු විමර්ශන අධීක්ෂණයට සලේ මැදිහත් විය. ආන්දෝලනයට තුඩු දී ඇති පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් පිළිබඳ තුන්වැනි ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදුකරන ලෙස බලපෑම් කර ඇත්තේ සලේ විසින් ය. එය තහවුරු කෙරෙන ප්‍රකාශ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි නිලධාරීන් විසින් ම ලබාදී තිබේ. සාරා යනු කටුවාපිටිය බෝම්බකරු වූ හස්තූන්ගේ බිරිඳ ය. ඇය හින්දු ආගමේ සිට ඉස්ලාම් භක්තිකයකු බවට පත්ව ඇත්තේ අබ්දුල් රාසික්ගේ පල්ලියේදී බව අනාවරණය වී ඇත.
එපමණක් නොවේ, සාරා මියගිය බව තහවුරු කිරීම සඳහා සලේට තිබූ අවශ්‍යතාව කොතරම් ද යත් ඇයගේ තුන්වැනි ඩීඑන්ඒ වාර්තාව ලබාගැනීම සඳහා සලේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ද ගොස් ඇත. ඉන්පසු එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව විසින් සාරා මියගිය බවක් ප්‍රසිද්ධ කළේය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් එවැන්නක් මෙතෙක් නිල වශයෙන් සඳහන් කර නැත.
ඊයේ (25) අත්අඩංගුවට ගත් සුරේෂ් සලේගේ භූමිකාව ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක වන්නේ කෙසේද යන්න පැහැදිලි වන්නේ මේ කරුණු එකිනෙක ගෙන බැලීමේදී ය.
ඒ අනුව ඔහුව පැය 72ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කළේය.
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදිනයේ සහරාන් හෂීම් ප්‍රමුඛ ම්ලේච්ඡ අන්තවාදීන් කණ්ඩායමක් දිවයිනේ ස්ථාන 08කදී සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර 10කදී පුද්ගලයින් 273ක් ජීවිතක්ෂයට පත්විය.
අනතුරුව අදාළ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන ඇරඹි අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ඔස්සේද විමර්ශන සිදු කෙරුණි.
එකී සියලු විමර්ශනවලින් අනාවරණය වූ කරුණු මත ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කණ්ඩායම් සමග සෘජුව සම්බන්ධතා පවත්වා තිබූ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.
ඊට අදාළ නඩුව මේ වනවිට දිනපතා විභාග කෙරෙමින් පවතී.
මෙවැනි පසුබිමක පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක් ඇතැයි දිගින් දිගටම ඇතැම් පාර්ශ්ව චෝදනා කළේය.
ඒ අතරවාරයේ හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති හමුවකදී රාජපක්ෂවරුන් යළි බලයට ගෙනඒම සඳහා රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකිරීමට යෝජනා වූ බවට බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ වාර්තාමය වැඩසටහනකින් චෝදනා එල්ල කෙරුණි.
ඒ කලක් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ මේ වනවිට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතන අසාද් මව්ලානා සිදුකළ ප්‍රකාශයකින්ය.
ඒ අනුව පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ රහසිගත විමර්ශනයක් පිළිබඳ පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර වාර්තා මගින් කරුණු දක්වා තිබුණි.
එවැනි පසුබිමක හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතාව අද පෙ.ව. 8.10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට පත්විය.
සලේ මහතා පෑලියගොඩ පිහිටි පෞද්ගලික ආයතනයක සේවය සඳහා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
අනතුරුව ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
එමෙන්ම ඔහු භාවිත කරන පරිගණක, ඔහුගේ නිවස, බැංකු ගිණුම් හා ඊමේල් පණිවිඩ පරීක්ෂා කිරීමට නියමිත බවය වාර්තා වේ.
සුරේෂ් සලේ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් තොරතුරු දැන සිට, ඒ පිළිබඳව අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කර නොමැතිද යන්න පිළිබඳව විමර්ශකයින්ගේ අවධානය යොමු වී ඇති බවද සඳහන්ය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් ප්‍රබල චරිත කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.




















