රටම කතාවෙන කවුද මේ සුරේෂ් සලේ ?

58

මාධ්‍ය­වේ­දීන් ඉවත් කිරී­මට සිදු කළ ඉල්ලී­මක් සභා­පති විනි­සුරු ජනක් ද සිල්වා ඇතුළු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය පිළි­බඳ සොයා බැලූ ජනා­ධි­පති කොමි­සම පිළි­ගත් පසු, රනිල් වික්‍ර­ම­සිංහ විසින් සුරේෂ් සලේ සම්බ­න්ධ­යෙන් කොමි­ස­මට කරුණු රැසක් පවසා ඇත. සලේ අන්ත­වාදී කණ්ඩා­යම් පෝෂ­ණය කිරී­මට පෞද්ග­ලි­කව මෙන්ම යුද හමුදා බුද්ධි අංශය මඟින් මැදි­හත් වූ ආකා­ර­යත්, ඒ ගැන තමන් දන්නා අනෙ­කුත් තොර­තු­රුත් එහිදී රනිල් වික්‍ර­ම­සිංහ පැවසූ බව වාර්තා විය. එහෙත් ඒවා පාස්කු කොමි­ෂන් වාර්තාව තුළ රහ­සි­ගත ලේබ­ලය යටතේ තැබිණි.

කවුද මේ සලේ ?

ශ්‍රී ලංකා යුද හමු­දාවේ බුද්ධි අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙසත්, රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධා­නියා ලෙසත් සුරේෂ් සලේ කට­යුතු කර ඇත. මේජර් ජෙන­රා­ල්ව­ර­යෙකු ලෙස කට­යුතු කළ ඔහු, දැන් විශ්‍රා­මික ය. 1987 හෝ ඒ ආසන්න වර්ෂ­ය­කදී යුද හමු­දා­වට බැඳී ඇති ඔහු, 1993 වසරේ සිට යුද හමුදා බුද්ධි අංශ­යට අනු­යු­ක්තව සේවය කර ඇත. 2012 වස­රේදී යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙස පත් කළ ඔහු, 2016දී ඉන් ඉවත් කෙරිණි. ඉන්පසු මැලේ­සි­යාවේ ශ්‍රී ලංකා මහ­කො­ම­සා­රිස් කාර්යා­ල­යේත්, ඉන්දි­යා­වේත් ගත කළ ඔහු, 2019 නොවැ­ම්බර් 16 පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­පති ධුර­යට පත්වී­මෙන් පසු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ධුර­යට පත්කෙ­රිණි. ඔහු එම තන­තු­රින් ඉවත් කරන ලද්දේ 2024 සැප්තැ­ම්බර් 21දා පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් අනුර කුමාර දිසා­නා­යක ජනා­ධි­පති ධුර­යට පත්වී­මෙන් පසුව ය.

ඊයේ (25) අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් ඔහු අත්අ­ඩං­ගු­වට ගනු ලැබුවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සැල­සුම් කිරීම සහ ඊට අනු­බල දීම පිළි­බඳ සැකය මතය. ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ නිකුත් කළ රඳවා තබා­ගැ­නීමේ නියෝග මත සුරේෂ් සලේ පිළි­බඳ වැඩි­දුර විම­ර්ශන සිදු­කෙ­රෙ­මින් තිබේ.

දර්ගා නග­රයේ පහ­ර­දීම

සුරේෂ් සලේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුරය දර­මින් සිටි­යදී ය, අලු­ත්ගම – දර්ගා නග­රයේ සිංහල – මුස්ලිම් ප්‍රශ්න­යක් මතු­වූයේ. 2014 ජුනි මාසයේ මේ සිදු­වීම ඇර­ඹෙන්නේ භික්ෂූන් වහන්සේ නමක මාර්ගයේ යන විට මුස්ලිම් ජාති­ක­යන් දෙදෙ­නකු පහර දුන් බවට එල්ල වූ චෝද­නා­ව­කින් ය. මේ සම්බ­න්ධ­යෙන් පොලී­සි­යට පැමි­ණිලි කරන ලදි. විවිධ සංවි­ධාන මේ සම්බ­න්ධ­යෙන් හඬ­නැඟූ අතර, බොදු බල සේනා සංවි­ධා­නය සිකු­රාදා පස්ව­රුවේ විශේෂ රැස්වී­මක් සංවි­ධා­න කළේය. මේ රැස්වී­මට මුලදී ප්‍රදේ­ශයේ පොලිස් නිල­ධා­රීන් විරුද්ධ වුවද, පසුව අනු­මැ­තිය දීමට සිදු විය.

පහ­ර­දී­මට ලක්වූ භික්ෂූන් වහන්සේ සමඟ සිකු­රාදා පස්ව­රුවේ ඉස්ලාම් පල්ලිය ඉදි­රි­යෙන් පෙර­හ­රක් ගියේය. එහිදී ඇති වූ ප්‍රශ්නය බැරෑ­රුම් වූ අතර, මුස්ලිම් කඩ ගිනි තැබීම, වෙඩි තැබී­මක් මෙන්ම මරණ කිහි­ප­යක් ද සිදු විය. අදාළ වෙඩි තැබීම සම්බ­න්ධ­යෙන් මෙතෙක් කිසි­වකු අත්අ­ඩං­ගු­වට ගෙන නැත. ගිනි තැබී­ම්ව­ලට සම්බන්ධ පිරි­සක් එව­කට කළු­තර දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලි­ස්පති ඉන්ද්‍රන්ගේ උප­දෙස් මත අත්අ­ඩං­ගු­වට ගැනිණි. ඔවුන් ආර­ක්ෂක අංශ­වල පිරි­සක් වූ අතර, අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට සූදා­නම් කර සිටි මේ පිරිස ඉහ­ළින් පැමිණි නියෝ­ග­යක් මත හදි­සි­යේම නිද­හස් කෙරිණි. නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා මේ පිළි­බඳ සට­හන් යොදා තිබූ අතර, ඔහු පොලිස් විශේෂ විම­ර්ශන ඒක­ක­යට ද මේ පිළි­බ­ඳව ප්‍රකාශ දී තිබේ.

මේ ප්‍රශ්නය පිළි­බඳ සාකච්ඡා කිරී­මට ආග­මික නාය­ක­යන්, නීති­ඥ­ව­රුන් වන අලි සබ්රි, හිජාස් හිස්බුල්ලා, ශිරාස් නූර්දීන්, මාධ්‍ය­වේදී එන්.එම්. අමීන් ඇතුළු මුස්ලිම් ප්‍රජාව නියෝ­ජ­නය කරන විද්ව­තුන් පිරි­සක් සහ ආර­ක්ෂක අංශ නියෝ­ජි­තයෝ රැසක් අලු­ත්ග­මට එක්වූහ. මේ සඳහා සුරේෂ් සලේ ද සහ­භාගි විය. එම සාක­ච්ඡා­වේදී නීතිඥ හිජාස් හිස්බුල්ලා විසින් චෝදනා කරන ලද්දේ දර්ගා නග­රයේ සිදු­වීම් පිටු­පස බුද්ධි අංශ සිටින බව­ටයි. මෙහිදී සුරේෂ් සලේ සහ හිජාස් හිස්බුල්ලා අතර උණු­සුම් සංවා­ද­යක් ඇති වූ අතර, සලේගේ මැදි­හ­ත්වී­මෙන් හිස්බුල්ලා සාක­ච්ඡා­වෙන් ඉවත් කරන ලදි.

ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ

2015 ජන­වාරි 26දා පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට දින 02කට පෙර, එනම් ජන­වාරි 24 වැනිදා ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ අතු­රු­දන් කෙරිණි. මේ ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ ය, රාජ­පක්ෂ පවුල් ගස ලිව්වේ, ඇන්දේ. 2015 ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රති­ඵ­ල­යට එහි තීර­ණා­ත්මක බල­පෑ­මක් ද විය. මහින්ද රාජ­පක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැ­ති­ව­ර­යකු වූ අරු­න්දික ප්‍රනා­න්දුත්, හිටපු නීති­පති මොහාන් පීරිස් වැනි අයත් කිව්වේ එක්නැ­ලි­ගොඩ අතු­රු­දන් වී නැති බවත්, ඔහු විදේශ රටක ජීව­ත්වන බවත් ය. අධි­ක­ර­ණ­යට කැඳ­වී­මෙන් පසු ඔවුන් කිව්වේ මිතු­රෙක් ඒ බව කී බවයි. ඒ කතා­ව­ලට අදාළ කිසිදු පිළි­ගත හැකි සාක්ෂි­යක් ඉදි­රි­පත් කර­න්නට ඔවුන් සමත් වූයේ නැත.

2015 යහ­පා­ලන ආණ්ඩුව කාල­යේදී ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ අතු­රු­දන් කිරීම පිළි­බඳ විම­ර්ශන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ආරම්භ කෙරිණි. මෙහිදී දුර­ක­තන විශ්ලේ­ෂණ වාර්තා පිළි­බඳ දැඩි අව­ධා­න­යක් යොමු කෙරිණි. එහිදී අනා­ව­ර­ණය වූයේ මීට බුද්ධි අංශ සම්බ­න්ධ­තා­වක් ඇති බවයි. ඒ පිළි­බඳ තොර­තුරු විම­ර්ශ­නය කිරී­මට ගත් උත්සා­හ­යන් එව­කට යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධා­නියා වූ සුරේෂ් සලේ විසින් වළ­ක්වන ලදි. එව­කට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සේවය කළ සහ­කාර පොලිස් අධි­කාරි ශානි අබේ­සේ­කර මේ පිළි­බ­ඳව හෝමා­ගම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. අධි­ක­ර­ණ­යෙන් සුරේෂ් සලේ කැඳ­වීය. අධි­ක­ර­ණ­යෙන් ඔහුට අව­වාද කළේ විම­ර්ශ­න­ව­ලට සහ­යෝ­ගය ලබා­දෙන ලෙසයි. එහෙත් ඔහු එවැනි සහ­යෝ­ග­යක් දුන්නේ නැත. නැවත සලේ කැඳ­විණි. මෙසේ විම­ර්ශන ඉදි­රි­යට යන විට හදි­සි­යේම විශාල ප්‍රචා­ර­යක් කර­ළි­යට ආවේය. ඒ, එක්නැ­ලි­ගොඩ එල්ටී­ටී­ඊ­කා­ර­යකු බවයි.

කෙසේ වෙතත් රජයේ ආය­තන 10ක තොර­තුරු මත කරන ලද විම­ර්ශ­න­යට අනුව මාධ්‍ය­වේදී ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ එල්ටී­ටීඊ ත්‍රස්ත­වා­ද­යට සම්බන්ධ වී හෝ ඊට අනු­බ­ල­දී­මක් හෝ කර නැති බවත්, ඔහුට එරෙ­හිව කිසිදු ආය­ත­න­යක් හරහා අධි­ක­රණ ක්‍රියා­මා­ර්ග­යක් ගෙන නැති බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හෝමා­ගම මහේස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට නිල වශ­යෙන් දැනුම් දුන්නේය. එහෙත් ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ එල්ටී­ටී­ඊ­යෙන් මුදල් ලබා ගත් බවත්, ඔහු මරා­ගෙන මැරෙන බෝම්බ කට්ටල සඟ­ව­න්නට උදවු කළ බවත් ඇතුළු බර­ප­තළ චෝදනා රැසක් යුද හමුදා බුද්ධි අංශය මඟින් ප්‍රසිද්ධ කෙරිණි. ඒ අත­ර­වා­රයේ මේ සිද්ධි­යට සම්බන්ධ ගිරි­තලේ යුද හමුදා බුද්ධි කඳ­වුරේ ලිපි­ගොනු සඟ­ව­න්නට ද උත්සාහ දැරූ බවට චෝදනා එල්ල විය.

සලේ මැලේ­සියා යයි

2016 වසර අගදී සාධා­රණ සමා­ජ­යක් සඳහා වූ ජාතික ව්‍යාපා­රය ඇතුළු සිවිල් සංවි­ධාන කිහි­ප­යක් මාධ්‍ය හමු­වක් පව­ත්ව­මින් චෝදනා කරන ලද්දේ යුද හමුදා බුද්ධි අධ්‍ය­ක්ෂ­ව­රයා රාජ්‍ය විරෝධි කුම­න්ත්‍ර­ණ­යක් සිදු කරන බව­ටයි. ඒ අනුව එව­කට ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන විසින් 2016 නොවැ­ම්බර් මාස­යේදී ඔහුව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුර­යෙන් ඉවත් කරන ලද අතර, 2016 දෙසැ­ම්බර් 01 හෝ ඊට ආසන්න දින­කදී ඔහු මැලේ­සි­යාවේ පිහිටි ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලයේ රාජ­කාරි සඳහා පිටත්ව ගියේය.

ඉන්පසු නැව­තත් සලේ ලංකා­වට පැමි­ණියේ 2017 නොවැ­ම්බර් 04දා හෝ ඊට ආසන්න දිනක ය. 2017 නොවැ­ම්බර් අව­සා­නයේ යළිත් ඔහු ලංකා­වෙන් පිටත්ව ගියේය.

දිගන ප්‍රහාර සහ මාර්තු කුම­න්ත්‍ර­ණය

2018 පෙබ­ර­වාරි මාස­යේදී පළාත් පාලන මැති­ව­ර­ණය පැවැ­ත්විණි. ඒ මැති­ව­ර­ණ­යෙන් මහින්ද රාජ­ප­ක්ෂගේ නාය­ක­ත්ව­යෙන් යුත් ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ ඉදි­රි­යට ආවේය. ඊට මාස­ය­කට පසු, 2018 මාර්තු 04 සිට 06 දක්වා මහ­නු­වර, දිගන මුස්ලිම් ප්‍රජා­වට පහ­ර­දීම් යළිත් සිදු විය. එහිදී වෙළෙ­ඳ­සල් ගිනි­බත් කෙරිණි. පොලී­සිය ඒවාට ඉඩදී බලා සිටි බව­ටත්, බස්නා­හිර පළාතේ ලියා­ප­දිංචි වාහන සහ යතු­රු­පැදි පොලී­සිය අත­රින් නිද­හසේ එහෙ – මෙහෙ ගිය බව­ටත් වාර්තා කෙරිණි. එම පහ­ර­දී­ම්ව­ලට ආර­ක්ෂක අංශ සහාය ලැබුණු බවට වාර්තා විය. මේවා ශ්‍රී ලංකා මානව හිමි­කම් කොමි­ෂන් සභාව මඟින් එම පහ­ර­දීම් ගැන කළ විම­ර්ශ­න­යේදී ලද සාක්ෂි අතර විය.

මේ අතර 2018 මාර්තු අව­සා­න­යේදී මහින්ද රාජ­පක්ෂ අග­මැති කිරීමේ උත්සා­හ­යක් ක්‍රියා­ත්මක විය. සුසිල් ප්‍රේම­ජ­යන්ත, තිලංග සුම­ති­පාල ඇතුළු දේශ­පා­ල­න­ඥ­යන් පිරි­සක් එව­කට ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මුණ­ගැ­සෙ­මින් කිව්වේ රනිල් වික්‍ර­ම­සිංහ අග­මැති ධුර­යෙන් ඉවත් කර, මහින්ද රාජ­පක්ෂ ඒ තැනට පත්ක­රන ලෙසයි. එහෙත් එව­කට ජනා­ධි­ප­ති­ව­රයා සමඟ සමී­පව සිටි රාජ්‍ය පරි­පා­ලන සේවයේ ජ්‍යෙෂ්ඨ­යන් පිරි­සක් මෙන්ම ජ්‍යෙෂ්ඨ නීති­ඥයෝ පිරි­සක් ද මීට විරෝ­ධය පළ­කර තිබිණි.

ඒ අත­ර­වා­රයේ හදි­සියේ නාමල් කුමාර කෙනකු මතු වූ අතර, ඔහු පවසා තිබුණේ ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන සහ ගෝඨා­භය රාජ­පක්ෂ ඝාතන කුම­න්ත්‍ර­ණ­යක් ඇති බවයි. ඒ පිටු­පස එව­කට ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සයේ ප්‍රධා­නියා වූ නියෝජ්‍ය පොලි­ස්පති නාලක සිල්වා ඇති බව ද මේ නාමල් කුමාර කිව්වේය. එහෙත්, අව­සා­න­යට විම­ර්ශන මඟින් තහ­වුරු වූයේත්, අධි­ක­ර­ණ­යට කරුණු දැක්වූ­යේත් සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යකු ඝාතන කුම­න්ත්‍ර­ණ­යක් පිළි­බ­ඳව පමණි.

පසුව 2018 ඔක්තෝ­බර් 26දා ව්‍යවස්ථා විරෝධී ලෙස අග­මැති ධුර­යට මහින්ද රාජ­පක්ෂ පත්කෙ­රිණි.

මාව­නැල්ල බුදු පිළිම සිද්ධිය

2018 දෙසැ­ම්බර් මාස­යේදී සුරේෂ් සලේ නැව­තත් ලංකා­වට ආවේය. 2019 ජන­වාරි 03දා ඔහු යළිත් ඉන්දි­යා­වට ගියේ පාඨ­මා­ලා­ව­කට බව පැව­සිණි. මේ අත­ර­වා­රයේ ය, මාව­නැල්ල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහි­ප­යක බුදු­පි­ළි­ම­ව­ලට හානි වූයේ. හරි­ය­ටම 2018 දෙසැ­ම්බර් 24 – 26 අතර ය. එව­කට කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති පාලිත සිරි­ව­ර්ධ­නගේ උප­දෙස් මත මීට අදාළ විම­ර්ශන ඇර­ඹිණි. එම විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වූයේ සහ­රාන් නම් තැනැ­ත්තකු මේ බුදු­පි­ළිම සිදු­වී­මට සම්බන්ධ බවයි. එහෙත් කුමක් හෝ හේතු­වක් මත සහ­රාන් නමැ­ත්තකු මේ සිදු­වී­ම්ව­ලට සම්බන්ධ බව විම­ර්ශ­ක­යන් විසින් අධි­ක­ර­ණ­යට වාර්තා කර තිබුණේ නැත.

පිල්ලෙ­යාන් සහ පාස්කු ප්‍රහා­රය

සිව­නේ­ස­තු­රෙයි චන්ද්‍ර­කා­න්තන් හෙවත් පිල්ලෙ­යාන් අත්අ­ඩං­ගු­වට ගත්තේ 2025 මාර්තු 08දා ය. ඔහු අත්අ­ඩං­ගු­වට ගත්තේ නැඟෙ­න­හිර විශ්ව­වි­ද්‍යා­ලයේ හිටපු උප කුල­පති මහා­චාර්ය රවී­න්ද්‍ර­නාත් ශිව­සු­බ්‍ර­ම­නි­යම් පැහැ­ර­ගෙන ගොස් අතු­රු­දන් කිරීමේ සිදු­වීම සම්බ­න්ධ­යෙනි.

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සිදු වන අව­ස්ථාව වන විට පිල්ලෙ­යාන් සිටියේ මඩ­ක­ල­පුව බන්ධ­නා­ගා­රයේය. 2015 වස­රේදී ඔහු අත්අ­ඩං­ගු­වට ගත්තේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ජෝෂප් පර­රා­ජ­සිං­හම් ඝාත­නය කිරීමේ සිදු­වීම සම්බ­න්ධ­යෙනි. කෙසේ වෙතත් නීති­ප­ති­ව­රයා විසින් හදි­සියේ නඩුව අව­සන් කරන බව අධි­ක­ර­ණ­යට දැනුම් දීම නිසා පිල්ලෙ­යාන් එළි­යට ආවේය. මඩ­ක­ල­පුව සියොන් දේව­ස්ථා­නයේ ද පාස්කු බෝම්බ­යක් පිපි­රීය. ඒ වන විට ඔහු සිටියේ මඩ­ක­ල­පුව බන්ධ­නා­ගා­රයේ ය.

මේ ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් පිල්ලෙ­යාන් ජනා­ධි­පති කොමි­ස­මට දුන් සාක්ෂියේ මෙසේ සඳ­හන් වේ.

“ඔව්. මට හොඳට මත­කයි. එදා උදේ මහ සිකු­රාදා. (ඔහුට එහිදී පාස්කු ඉරිදා සහ මහ සිකු­රාදා පැටලී තිබිණි. පසුව එය නිවැ­රදි කෙරිණි.) මං අවු­රුදු හත­රක් බන්ධ­නා­ගා­රයේ හිටපු නිසා මං දන්නවා, හැම මහ සිකු­රාදා දව­ස­කම බිෂො­ප්තුමා බන්ධ­නා­ගා­ර­යට පැමි­ණෙන බව. ජන­වාරි පළ­මු­වැ­නිදා, අප්‍රේල් 14 අවු­රුදු දවසෙ, නත්තල් දවසෙ බිෂො­ප්තුමා එනවා. මම ඒ පූජා­වට සහ­භාගි නොවු­ණත් බිෂො­ප්තුමා ආව­හම මාත් එක්ක කතා කරලා තියෙ­නවා, අවස්ථා දෙක­කදි.

එදත් අපි ඔහුව බලා­පො­රො­ත්තු­වෙන් හිටියා. ඒත්, එක්කම බෝම්බ පිපි­රෙන සද්ද­යක් ඇහුණා. ඒක බ්‍රිතාන්‍ය කාලෙ පරණ ගොඩ­නැ­ඟි­ල්ලක්. ඒකෙ තමයි බන්ධ­නා­ගා­රය තිබුණෙ. මම සාමා­න්‍ය­යෙන් උදේ නව­යට උදේ කෑම ගන්නවා. මම උදේ කෑමට ලෑස්ති වෙන අව­ස්ථා­වේදී පිපි­රී­මෙන් කාම­රයේ තිබුණු ලෑල්ලෙන් හුළං පාරක් ආවා වගේ මට දැනුණා. මම විමුක්ති සංවි­ධා­න­යක සාමා­ජි­ක­යෙකු විදි­හට හිටපු නිසා මට දැනුණා, මෙතැන බෝම්බ ප්‍රහා­ර­යක් වෙලා තියෙ­නවා කියලා. එත­කොට මට හිතුණා අද බිෂො­ප්තුමා එන්නෙ නෑ කියලා. මම බන්ධ­නා­ගාර නිල­ධා­රි­ය­කු­ගෙන් ඇහුවා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. ට්‍රාන්ස්ෆෝ­ම­ර­යක් පුපු­රලා කිව්වා. ට්‍රාන්ස්ෆෝ­ම­ර­යක් පිපි­රුණා නම් ගින්නක් ඇති­වෙන්න ඕනෙ, විදු­ලිය විසන්ධි වෙන්න ඕනෙ. මං කිව්වා මේක එහෙම එකක් නෙමෙයි කියලා.’

එනම් පිපි­රී­මෙන් පසු මෙය බෝම්බ­යක් බව ඔහු නිශ්චි­තව දැන­ගෙන තිබේ. එසේම එය කතෝ­ලික පල්ලි­යක පිපි­රී­මක් බවත් ඔහු දැන සිටි බවක් පෙනේ. බිෂො­ප්ව­රයා නොපැ­මි­ණෙන බව­ටත් ඔහුට අද­හ­සක් තිබී ඇත.

අල්ලි­යාර් හන්දියේ සහ­රාන්

2017 වසරේ මාර්තු 10 වැනිදා කාත්ත­න්කුඩි, අල්ලි­යාර් හන්දි­යේදී ගැටු­මක් ඇති විය. මේ ගැටුම ඇති­වූයේ සහ­රාන්ගේ කණ්ඩා­ය­මත්, රාවුෆ් මවු­ල­විගේ කණ්ඩා­ය­මත් අතර ය. සහ­රාන් එහි පැමිණ ගැටු­මට සම්බන්ධ වී ඇත. පහර දී තිබේ. ඊට සාක්ෂි ලෙස ඡායා­රූප ද ඇත. සහ­රාන්ගේ සහෝ­ද­රයා වූ රිල්වාන් සහ පාස්කු ප්‍රහා­ර­යට සම්බන්ධ වූ ෂයිනි මවු­ලවි ද එහි පැමිණ තිබේ.

මේ ගැටු­මෙන් පසු සහ­රාන් එතැ­නින් පලා­ගොස් ඇත. මේ සිදු­වීම සම්බ­න්ධ­යෙන් සහ­රාන්ගේ පියා සහ ඔහුගේ සහෝ­ද­රයා පොලී­සි­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. අධි­ක­ර­ණ­යෙන් ඔවුන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මෙන් පසු, ඔවුන් මාස පහක කාල­යක් පිල්ලෙ­යාන් සමඟ එකට සිට ඇත. මේ අත­රින් ෂයිනි මවු­ලවි වැඩි­යෙන්ම පිල්ලෙ­යාන් සමඟ සමීප ව කට­යුතු කර තිබේ. පිල්ලෙ­යාන් මේ ගැන ජනා­ධි­පති කොමි­සම ඉදි­රියේ පවසා ඇත.

පිල්ලෙ­යාන්ගේ ලේක­ම්ව­ර­යකු වූ හන්සීර් අසාද් මවු­ලානා යනු පිල්ලෙ­යාන්ගේ පක්ෂයේ විධා­යක කමි­ටුවේ සිටි අයෙකි. පිල්ලෙ­යාන්ගේ සම්බ­න්ධී­ක­රණ ලේක­ම්ව­රයා ය. පසුව පෞද්ග­ලික ලේක­ම්ව­රයා ය. පිල්ලෙ­යාන් බැලී­මට බන්ධ­නා­ගා­ර­යට නිතර පැමිණි අයෙකි. මේ අසාද් මවු­ලානා යනු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ විසින් පත්කළ ඉමාම් කමිටු වාර්තාවේ නව වැනි පිටු­වට අනුව අසාද් මවු­ලානා සහ පිල්ලෙ­යාන් අතර අති­ශය සමීප සම්බ­න්ධ­තා­වක් තිබී ඇත. එසේම සහ­රාන් සහ අසාද් මවු­ලානා අතර සම්බ­න්ධ­තා­වක් තිබූ බව­ටත්, එම­නිසා මවු­ලානා රටින් පිටවූ බව­ටත් ඉමාම් කමිටු වාර්තාවේ වැඩි­දු­ර­ටත් දැක්වේ.

මේ කමිටු වාර්තාවේ 10 වැනි පිටුවේ දැක්වෙන්නේ රිල්වාන්, එනම් සහ­රාන්ගේ සහෝ­ද­ර­යාට 2018දී ප්‍රති­කාර කළ වෛද්‍ය­ව­රයා සහ අසාද් මවු­ලානා කාත්ත­න්කුඩි, මර­ද­මුනේ ප්‍රදේ­ශයේ එකට ජීවත්වූ අස­ල්වා­සීන් ය. එසේම දෙහි­වල එබ­නිසා පෙදෙසේ ද ඔවුහු අස­ල්වා­සියෝ ය. එහි නිවාස දෙකක් දෙදෙ­නාට ම තිබී ඇත. මේ වෛද්‍ය­ව­රයා ෂෆ්රාස් ය. ඔහුට 2018 අගෝස්තු 27 වැනිදා අලු­යම දුර­ක­තන ඇම­තු­මක් ලැබී තිබේ. එම ඇම­තුම ලැබී ඇත්තේ විදේශ රටක සිටි මොහො­මඩ් අල්ලි­යාර් මවු­ෂූද් රිලා­ගෙන් ය.

ජනා­ධි­පති කොමි­ස­මේදී වෛද්‍ය ෂෆ්රාස් පවසා ඇති ආකා­ර­යට රිලා කතා කර පවසා ඇත්තේ තුවාල ලත් පුද්ග­ල­ය­කුට ප්‍රති­කාර කළ හැකිද යනු­වෙනි. මේ තුවා­ල­ව­ලට හේතුව ලෙස දක්වා ඇත්තේ ගෑස් සිලි­න්ඩ­ර­යක් පිපි­රී­මයි. දුර­ක­තන ඇම­තු­මෙන් පසු වෙනත් අයෙකු එහි ඡායා­රූප ද වෛද්‍ය­ව­ර­යාට එවා ඇත. එහිදී වෛද්‍ය­ව­රයා පවසා ඇත්තේ වහාම තුවා­ල­කරු කොළඹ, ජාතික රෝහ­ලට ඇතුළු කරන ලෙසයි. මේ තුවාල ලබා ඇත්තේ රිල්වාන් ය. එනම් සහ­රාන්ගේ සහෝ­ද­රයා ය. ඔහුට ප්‍රති­කාර කිරී­මට ඡායා­රූප එව්වේ කවුද යන්න තව­මත් අනා­ව­ර­ණය කර­ගෙන නැත. දුර­ක­තන ඇම­තුම ගත් රිලා නමැත්තා සහ වෛද්‍ය­ව­රයා එකම පාසලේ ය. වෛද්‍ය­ව­රයා විද්‍යා අංශ­යෙන් අධ්‍යා­ප­නය ලබද්දී රිලා ගණිත අංශයේ ය.

සහ­රාන් සමඟ ගිය තිදෙනා

රිලා නමැත්තා ලංකා­වට පැමිණ 2018 දෙසැ­ම්බර් මාස­යේදී මේ වෛද්‍ය­ව­රයා මුණ­ගැ­සී­මට ගොස් තිබේ. ඔහු වෛද්‍ය­ව­රයා හමු­වී­මට ගොස් ඇත්තේ සහ­රාන් සහ තවත් තිදෙ­නකු සම­ඟය. සහ­රාන් සමඟ එහි ගියේ කවුද යන්න සම්බ­න්ධ­යෙන් ද මෙතෙක් අනා­ව­ර­ණය වී නැත. මේ වෛද්‍ය­ව­රයා 2019 මාර්තු 06 වැනිදා විදේශ ගත වී ඇත. නැවත මාර්තු 16 ඔහු ලංකා­වට පැමිණ තිබේ. ඔහුට එවූ අදාළ තුවාල ලත් පුද්ග­ල­යාගේ ඡායා­රූප මකා දමා ඇති බව ද වෛද්‍ය­ව­රයා ජනා­ධි­පති කොමි­ස­මේදී පිළි­ගෙන ඇත. ඊට හේතුව ලෙස ඔහු පවසා ඇත්තේ දුර­ක­ත­නයේ ඉඩ මදි­වීම ය. වෛද්‍ය­ව­ර­යාගේ කොළඹ නිව­සේදී ය, සහ­රාන් ඇතුළු පිරිස 2018 දෙසැ­ම්බර් මාස­යේදී ඔහු හමුවී ඇත්තේ. ඔහුගේ කොළඹ නි‍ෙවස යනු දෙහි­වල, එබ­නිසා පෙදෙසේ පිහිටි අසාද් මවු­ලා­නාගේ නි‍ෙවස ආස­න්නයේ පිහිටි නි‍ෙව­සයි. ඉමාම් කමිටු වාර්තාවේ ද මේ නිවාස කතාව ගැන ඇත.

පාස්කු කොමි­ෂන් සභා වාර්තා­වට අනුව ප්‍රහා­රය සිදු වන අව­ස්ථාව වන විට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ වූ චූලා කොඩි­තු­වක්කු පවසා ඇත්තේ මේ කාල­යේදී සහ­රාන් මුහුදු මාර්ග­යෙන් ඉන්දි­යා­වට ගොස් සිටි බවකි. එහෙත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු විම­ර්ශන වාර්තා අනුව සහ­රාන් මේ කාල­යේදී ඉන්දි­යා­වට ගොස් නැත. එසේ නම් චූලා කොඩි­තු­වක්කු ජනා­ධි­පති කොමි­ස­මට එසේ කීවේ ඇයි? නැත­හොත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අසත්‍ය කරුණු ඔස්සේ විම­ර්ශන කර­න්නේද? එසේත් නැත්නම් සහ­රාන් 2018 දෙසැ­ම්බර් මාස­යේදී කොළ­ඹට පැමිණ සිදු කළ සාකච්ඡා හෝ හමු­වීම් වසන් කිරීමේ අව­ශ්‍ය­තා­වක් කාට හෝ තිබිණි ද?

විනි­සුරු ඉමාම් කමිටු වාර්තා­වට අනුව ෂෆ්රාස් නම් වෛද්‍ය­ව­ර­යාට විදේ­ශ­ගත වීමට සහාය ලබාදී ඇත්තේ ද අසාද් මවු­ලානා ය. එනම් පිල්ලෙ­යාන්ගේ ලේක­ම්ව­රයා ය. මේ අසාද් මවු­ලානා විසින් සලේට චෝදනා කර තිබුණේ ඔහු පාස්කු ප්‍රහා­ර­යට සම්බන්ධ බව­ටයි. ඒ පිළි­බඳ වෙනම විම­ර්ශ­න­යක් ද ක්‍රියා­ත්මක ය.

ජමීල්ගේ කතාව

පිල්ලෙ­යාන්ගේ ලේකම් අසාද් මවු­ලානා පව­සන්නේ පාස්කු ප්‍රහා­රය දිනයේ සලේ විසින් දුර­ක­ත­න­යෙන් තමන් අමතා ජමීල්ව ගන්නා ලෙස පැවසූ බවයි. ජමීල් යනු ටාජ්හි බෝම්බය පුපුරා ගැනී­මට ගොස්, කුමක් හෝ හේතු­වක් නිසා පුපු­රුවා නොගත් බෝම්බ­කරු ය. ඉන්පසු ඔහු යන්නේ දෙහි­වල එබ­නිසා පෙදෙ­සට ය. අසාද් මවු­ලා­නාගේ නි‍ෙවස ඇත්තේ ද එම පෙදෙසේ ය. වීඩියෝ සාක්ෂි­ව­ලට අනුව ජමීල්ගේ අතේ දුර­ක­ත­න­යක් ඇත. පසුව එය අස්ථා­න­ග­තවී තිබේ. මේ සිදු­වීම් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් 200කට අධික පිරි­ස­ක­ගෙන් ප්‍රකාශ සට­හන් කර­ගෙන තිබේ. ඒවා විම­ර්ශ­ක­යන් විසින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇත.

සලේගේ සාක්ෂිය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය පිළි­බඳ සොයා බැලූ ජනා­ධි­පති කොමි­ෂන් සභා­වේදී සුරේෂ් සලේ විසින් පිළි­ගත්තේ තවු­හිද් ජමාත් සංවි­ධා­නයේ පිරිස් සහ බොදු බල සේනා සංවි­ධා­නයේ පිරිස් එකට කැඳවා සාකච්ඡා කළ බවයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති අනුර සේනා­නා­ය­කගේ කාර්යා­ල­යට ශ්‍රී ලංකා තවු­හිද් ජමාත් නායක අබ්දුල් රාසික් සහ සලේ පැමිණි බවට සාක්ෂි ඉදි­රි­පත් වී තිබේ. කොමි­ස­මේදී නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව පාර්ශ්ව­යෙන් සිදු කළ ප්‍රශ්න­කි­රී­ම්ව­ලදී සලේ පිළි­ගෙන තිබුණේ නැඟෙ­න­හිර බුද්ධි ප්‍රධා­නීන් සහ­රාන් පිළි­බ­ඳව තොර­තුරු ලබා­දුන් බවයි. එසේ ම බුද්ධි අංශ­වල පිරිස් බෝම්බ­ක­රු­වන්ගේ කණ්ඩා­ය­ම්වල සිටි බව ද ඔහු මෙහිදී පවසා තිබිණි.

සාරාගේ තුන්වැනි ඩීඑන්ඒ වාර්තාව

2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­පති ධුර­යට පත්වී­මෙන් පසු සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි ප්‍රධානී ධුර­යට පත් කෙරිණි. ඉන්පසු පාස්කු විම­ර්ශන අධී­ක්ෂ­ණ­යට සලේ මැදි­හත් විය. ආන්දෝ­ල­න­යට තුඩු දී ඇති පුල­ස්තිනී මහේ­න්ද්‍රන් හෙවත් සාරා ජස්මින් පිළි­බඳ තුන්වැනි ඩීඑන්ඒ පරී­ක්ෂ­ණ­යක් සිදු­ක­රන ලෙස බල­පෑම් කර ඇත්තේ සලේ විසින් ය. එය තහ­වුරු කෙරෙන ප්‍රකාශ මේ වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ එව­කට සිටි නිල­ධා­රීන් විසින් ම ලබාදී තිබේ. සාරා යනු කටු­වා­පි­ටිය බෝම්බ­කරු වූ හස්තූන්ගේ බිරිඳ ය. ඇය හින්දු ආගමේ සිට ඉස්ලාම් භක්ති­ක­යකු බවට පත්ව ඇත්තේ අබ්දුල් රාසික්ගේ පල්ලි­යේදී බව අනා­ව­ර­ණය වී ඇත.

එප­ම­ණක් නොවේ, සාරා මිය­ගිය බව තහ­වුරු කිරීම සඳහා සලේට තිබූ අව­ශ්‍ය­තාව කොත­රම් ද යත් ඇයගේ තුන්වැනි ඩීඑන්ඒ වාර්තාව ලබා­ගැ­නීම සඳහා සලේ රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වට ද ගොස් ඇත. ඉන්පසු එව­කට පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නිහාල් තල්දූව විසින් සාරා මිය­ගිය බවක් ප්‍රසිද්ධ කළේය. එහෙත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශ­ක­යන් එවැ­න්නක් මෙතෙක් නිල වශ­යෙන් සඳ­හන් කර නැත.

ඊයේ (25) අත්අ­ඩං­ගු­වට ගත් සුරේෂ් සලේගේ භූමි­කාව ලංකාවේ දේශ­පා­ල­නයේ තීර­ණා­ත්මක වන්නේ කෙසේද යන්න පැහැ­දිලි වන්නේ මේ කරුණු එකි­නෙක ගෙන බැලී­මේදී ය.

ඒ අනුව ඔහුව පැය 72ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කළේය.

2019 වසරේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදිනයේ සහරාන් හෂීම් ප්‍රමුඛ ම්ලේච්ඡ අන්තවාදීන් කණ්ඩායමක් දිවයිනේ ස්ථාන 08කදී සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර 10කදී පුද්ගලයින් 273ක් ජීවිතක්ෂයට පත්විය.

අනතුරුව අදාළ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන ඇරඹි අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ඔස්සේද විමර්ශන සිදු කෙරුණි.

එකී සියලු විමර්ශනවලින් අනාවරණය වූ කරුණු මත ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කණ්ඩායම් සමග සෘජුව සම්බන්ධතා පවත්වා තිබූ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

ඊට අදාළ නඩුව මේ වනවිට දිනපතා විභාග කෙරෙමින් පවතී.

මෙවැනි පසුබිමක පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක් ඇතැයි දිගින් දිගටම ඇතැම් පාර්ශ්ව චෝදනා කළේය.

ඒ අතරවාරයේ හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති හමුවකදී රාජපක්ෂවරුන් යළි බලයට ගෙනඒම සඳහා රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකිරීමට යෝජනා වූ බවට බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ වාර්තාමය වැඩසටහනකින් චෝදනා එල්ල කෙරුණි.

ඒ කලක් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ මේ වනවිට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතන අසාද් මව්ලානා සිදුකළ ප්‍රකාශයකින්ය.

ඒ අනුව පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ රහසිගත විමර්ශනයක් පිළිබඳ පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර වාර්තා මගින් කරුණු දක්වා තිබුණි.

එවැනි පසුබිමක හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතාව අද පෙ.ව. 8.10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට පත්විය.

සලේ මහතා පෑලියගොඩ පිහිටි පෞද්ගලික ආයතනයක සේවය සඳහා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

අනතුරුව ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එමෙන්ම ඔහු භාවිත කරන පරිගණක, ඔහුගේ නිවස, බැංකු ගිණුම් හා ඊමේල් පණිවිඩ පරීක්ෂා කිරීමට නියමිත බවය වාර්තා වේ.

සුරේෂ් සලේ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් තොරතුරු දැන සිට, ඒ පිළිබඳව අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කර නොමැතිද යන්න පිළිබඳව විමර්ශකයින්ගේ අවධානය යොමු වී ඇති බවද සඳහන්ය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් ප්‍රබල චරිත කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *