BREAKING NEWS
Search

සිගමනින් ඉතුරු කරපු ලක්ෂය තරුණයාට ණයට දුන් යාචක කාන්තාව – මහනුවර නගරයම හෙල්ලූ ඝාතනය

766
හදිසි අවශ්‍යතාවක් සඳහා රුපියල් ලක්ෂයක ණය මුදලක් මහනුවර නගරයේ යාචක කාන්තාවකගෙන් ඉල්ලා ගත් 30 හැවිරිදි තරණයෙකු ණය මුදල යළි ඉල්ලීම නිසා උරණවී එම කාන්තාව ඝාතනය කර පොලීසියට පැමිණ භාරවීමේ සිද්ධියක් මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයෙන් වාර්තා වුණා.

මහනුවර නගරයේ ලොතරැයි අළෙවි කිරීමේ නිරත අදාළ තරුණයා ලොතුරැයි අළෙවි නියෝජිතයෙකුට ලබාදීම සඳහා අදාළ ණය මුදල ලබාගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ.

යාචක කාන්තාව එම මුදල් ඉල්ලා නිතර කරදර කිරීම නිසා රුපියල් 70,000 ක මුදලක් ටික දිනකට පෙර ඇයට දුන් බව තරුණයා පොලීසියට පවසා තිබුණා.

නැවත දිගින් දිගටම ඇය මුදල් ඉල්ලා කරදර කළ බවත් මහවැලි ගඟේ දිය නෑමට පෙරේදා (24) ඇය සමඟ ගිය අවස්ථාවේ පිහියක් ගෙන කොටන බවට තර්ජනය කර ඇය මුදල් ඉල්ලූ බවත් සැකකරුගේ ප්‍රකාශයේ සඳහන්ව තිබුණා.
එම අවස්ථාවේ තමන් පිහියා උදුරා ඇගේ ගෙළ කැපූ බවත් නීතියෙන් වසන් වී ඉන්නට නොහැකි නිසා පොලීසියට පැමිණ භාර වූ බවත් ඔහු පවසා තිබුණා.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ මළ සිරුර මහනුවර අරුප්පොළ ක්‍රීඩාංගණය ආසන්යේ ගං ඉවුරේ ළඳු කැලෑවක තිබී පොලීසිය සොයාගෙන තිබෙනවා.

ඝාතනයට යොදාගත් පිහිය මළ සිරුර ආසන්නයේ තිබී සොයා ගත් බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු මහනුවර සිරිමල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඝාතනයට ලක්ව ඇත්තේ ගොහාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක් බවට හඳුනාගෙන ඇතත් අගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඝාතනයට ලක්වූ කාන්තාව මහනුවර ඔරලෝසු කණුව අසළ යාචකයෙකු ලෙස රැඳී සිටිමින් මුදල් එකතු කර තිබෙන අතර ඇය ලොතරැයි අළෙවිකරු සමඟ ඉතා සමීප සම්බන්ධතාවත් පවත්වා තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබුණා.

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන, පොලිස් අධිකාරි (01) දයාල් ඉලංගකෝන් යන නිලධාරීන්ගේ උපදෙස් මත මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සම්පත් රාජපක්ෂ විසින් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වනු ලබනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *