හැම කෙනෙක්ම විමතියට පත් කළ අන්න ඒ කතාව ගැන මේ ඇසෙන්නේ ලංකාවේ තවත් එක් ඈත පලාතකින්..
ඒ අනුව ආරම්භ කළ මූලික පරීක්ෂණවලින් අස්වැසුම සුබසාධක දීමනා මුදල් රුපියල් ලක්ෂ 22කට ආසන්න මුදලක් මෙලෙස ප්‍රතිලාභීන්ට නොදී මෙම නිලධාරිනිය සිය පෞද්ගලික ගිණුම්වලත් හිතමිතුරන්ගේ සහ ඥාතීන්ගේ ගිණුම්වලත් තැන්පත් කරගෙන ඇති බවට මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකයේ නිලධාරීන් සහ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් විසින් හෙළි කර ගෙන ඇති බව ද ලේකම්වරයා පවසා තිබුණා.
මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ප්‍රදේශයේ ආගමික, ශාසනික සහ මහජන සේවාවන් රැසක් සිදු කෙරෙන අවස්ථාවක ආයතනයේ කිසියම් හෝ අක්‍රමිකතාවක් සිදු වුවහොත් එය සොයා ගැනීමට පහසු වීම සඳහා තොරතුරු තාක්ෂණ ඒකකය සවිබල ගන්වා ඇති අතර, ඒ අනුව සියලුම දත්ත පිළිබඳ සොයා බැලීමක් එම ඒකකය විසින් සිදු කරනු ලබනවා. එහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන වසම් භාර නිලධාරිනියක සිය වසමේ මියගිය පුද්ගලයකු පිළිබඳව හෙළිකළ කරුණු අනුව මෙම අක්‍රමිකතාව අනාවරණය කර ගැනීමට එම අංශයට හැකි වී තිබෙනවා.
ඒ අනුව මෙම වංචාව පිළිබඳව මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනවිරත්න දැනුවත් කිරීමට තොරතුරු තාක්ෂණ නිලධාරීන් කටයුතු කර තිබුණා. ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම් සහ අදාළ බලධාරීන් දැනුවත් කර එම චෝදනාවට ලක් වූ නිලධාරිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර ආයතනික වශයෙන් මූලික පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. එහිදී මෙම අක්‍රමිකතාව පිළිබඳ කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව ප්‍රාදේශීය ලේකම්වරයා පවසනවා.
මෙම නිලධාරිනිය මියගිය සහ වයෝවෘද්ධ පුද්ගලයින්ගේ ගිණුම් හරහා 2023 වර්ෂයේ සිට මෙම වංචාව සිදුකර තිබුණා. එලෙස වංචා කළ රුපියල් ලක්ෂ 22කට ආසන්න මුදලක් මේ වන විටත් සොයාගෙන ඇති බවද ඒ පිළිබඳව මැදවච්චිය පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බවද ප්‍රාදේශීය ලේකම්වරයා පවසනවා. එහිදී මුදල් ප්‍රමාණය අනුව මැදවච්චිය පොලිසියට වැඩිදුර පරික්ෂණ කළ නොහැකි බව පවසා ඇති අතර, ඒ අනුව මූලික විමර්ශන වාර්තාව ද රැගෙන ඉදිරියේදී කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ පැමිණිලි කරන බව ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියා.
දිවයින පුවත්පත ඇසුරෙන්..




















