මම හතර පොළකටම ඔය බඩු දැම්මා.. එකක් විතරක් විස වුණේ කොහොමද?” – හත් දෙනෙකුට මරු කැඳවූ වෙන්නප්පුවේ විෂ මත්පැන් සිද්ධිය ගැන වෙනස්ම කතාවක් එළියට..

399

රජයේ අරක්කුවල මිල ශීඝ්‍ර ලෙස ඉහළ යෑමත් සමඟ නීති විරෝධී මත්පැන් හෙවත් කසිප්පු සඳහා ඇති ඉල්ලුම මේ වන විට ඉහළ ගොස් තිබේ.

මේ නිසා මත්පැන්වලට ඇබ්බැහිවූ බොහෝ පිරිස් කසිප්පු පානය කිරීම සඳහා පෙලඹ සිටිති. රජයේ මත්පැන් කිසියම් සහන මිලකට ලබාදෙන ලෙස පාර්ශ්ව කෙතරම් ඉල්ලීම් කළද එම ඉල්ලීම් සාර්ථක නොවන බවක්ද පෙනෙන්නට තිබේ.

මෙවන් හේතු මත කසිප්පුවලට ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යෑම නිසා ඇතැම් පිරිස් නොයෙකුත් දහජරා මුසුකරමින් එම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමේ අරමුණෙන් කසිප්පු නිෂ්පාදනයට පටන්ගෙන තිබේ.

මෙලෙස දහජරාව මුසු කරමින් කසිප්පු පෙරීම නිසා ඒවා විස වීමෙන් ප්‍රදේශ කිහිපයක පුද්ගලයන් මිය ගිය අතර තවත් පිරිස් රෝගාතුර වූ අවස්ථාද අසන්නට ලැබුණු අතර මෙහි ආසන්නම සිදුවීම පසුගියදා වෙන්නප්පුව පොලිස් වසමේ තඹරවිල ප්‍රදේශයෙන් වාර්තා විණි.

මෙහිදී විස සහිත කසිප්පු පානය කිරීමෙන් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පුද්ගලයන් හයදෙනකු බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.

මෙම පුද්ගලයන්ට විස සහිත කසිප්පු අලෙවි කළ කාන්තාවද මේ වන විට අත්අඩංගුවට ගෙන මේ මස 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර මෙහිදී අනාවරණය වන්නේ ඇය කසිප්පු වෙළෙඳාමේ නිරතව ඇත්තේ වෙන්නප්පුව සුරාබදු කාර්යාලයට මීටර් 300ක් පමණ ඈතින් පිහිටි ඇගේ නිවෙසේදී බවය.

මේ නිසා මේ වන විට කරුණු රැසක් උද්ගත වී ඇති අතර මෙම කාන්තාව මෙලෙස නීති විරෝධී මත්පැන් විකිණීම සුරාබදු නිලධාරීන්ගේ ඇස නොගැටීම විමතියට කරුණක් වී තිබේ.

කෙසේ වෙතත් කසිප්පු මෙලෙස විකිණීම සිදු කරද්දී ඒවා අත්අඩංගුවට නොගැනීම ගැන ගමේ බොහෝ පිරිස් චෝදනා එල්ල කරනුයේ පොලිසියට වුවද පොලිසිය පවසන්නේ මෙවන් නීති විරෝධී මත්පැන් අත්අඩංගුවට ගැනීම පනත මඟින් පැවැරී ඇත්තේ සුරාබදු නිලධාරින්මන්ට බවකි. සුරාබදු ආඥා පනතේ 37 සහ 38 වගන්ති මඟින් සෝදිසි කිරීමේ බලය සහ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම පොලිසියටද පැවරී තිබේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වෙන්නප්පුව පොලිසිය කීවේ සැකකාර කාන්තාව මීට පෙරද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් එහිදී අධිකරණය ඇයට වසරක සිරදඬුවමක් නියම කොට එය වසර පහළොවකට අත්හිටුවා ඇති බවත්ය.

එමෙන්ම පොලිසිය මැයට අවවාද කිරීමෙන් පසු කසිප්පු ජාවාරම නවතා ඇති බව පොලිසිය හමුවේ පැවැසුවද ඇය නැවතත් විවිධ ක්‍රමවේදයන් ඔස්සේ කසිප්පු විකිණීම සිදු කරන බවත්ය.

වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරකට අනුව එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සිරිවර්ධන ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹා වයික්කාල, බෝලාන පදිංචි 64 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන නිවෙස පරීක්ෂා කිරීමේදී ඇගේ නිවෙසේ තිබූ මිලිලීටර් 5,000 බැගින්වූ කසිප්පු බෝතල් දෙකක්ද සොයා ගෙන තිබිණි.

‘’කොහෙන්ද උඹට මේවා’’

‘’සර් මේවා චමියගේ බඩු’’

‘’උඹ දන්නවද මේ දහජරාව බිලා පස්හය දෙනෙක් මැරිලා කියලා’’ උප පරීක්ෂකවරයාගේ ප්‍රකාශයෙන් ඇය අන්දුන් කුන්දුන් වූවාය.

එහිදී ඇය කීවේ ඉකුත් මස 31 වැනිදා ‘වඩු චමී‘ නමැති බණ්ඩිරිප්පුව, ලුණුවිල පදිංචි කසිප්පු නිපදවන්නකු ඔහුගේ අනියම් බිරිය ලෙස සැලකෙන කාන්තාවක්ද සමඟ යතුරුපැදියකින් පැමිණ පොලිතින් උරවල යෙදූ කසිප්පු ලීටර් 200ක් තමාට ලබාදුන් බවකි.

එම කසිප්පුවලින් රුපියල් 2000ක කසිප්පු පැකට් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයකු පැමිණ රැගෙන ගිය බවත් ඇය පොලිස් නිලධාරීන් හමුවේ පවසා සිටියාය.

“ඒ බඩු සේරම ඉවර වුණා සර්. මම චමියා දාන බඩු පැකට් කරලා තමයි විකුණුවේ. ඒවා ඉවර වුණු නිසා තමයි, තවත් බෝතල් දෙකක් ගෙන්න ගත්තෙ.“ඇගේ ප්‍රකාශය අනුව පොලිසිය ඊළඟට ගියේ වඩු චමියා සහ ඔහු සමඟ කසිප්පු ප්‍රවාහනය කරන අනෙක් කාන්තාව සොයාගෙනය. මේ වන විට මුලින් අත්අඩංගුවට ගත් කාන්තාව මේ බව වඩුචමියාට දන්වා තිබුණාය. ඒ දැනුම්දීම අනුව පොලිසිය කොයි මොහොතේ හරි තමා අත්අඩංගුවට ගැනීමට පැමිණේවිය යැයි සැකයට ඔහු නිවෙසින් පලා ගියේය.

මේ බව අනාවරණය කරගත් පොලිසිය ඔහු සොයාගත නොහැකි වූ තැන ඔහු සමඟ කසිප්පු ප්‍රවාහනය කළ කාන්තාව කොටු කර ගැනීමට යුහුසුලු විය.

එහි ප්‍රතිඵලයක් ලෙස එම කාන්තාව දංකොටුව, ගෝනවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකි විය.

‘’මම ඔය මොකුත් දන්නේ නැහැ සර්. එයා මට කතා කරන කොට මාත් එයාගේ බයික් එකේ නැඟලා යනවා.’’ඇය පොලිසියට මුලින්ම කීවාය. ඒත් පොලිසිය රැවටීමට ඇයට අසීරු වූවාය. නිලධාරින් සිය හසළ පළපුරුද්ද භාවිත කරමින් ඇගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇය ලවාම වඩු චමියාට කතා කළේ කිසියම් උපක්‍රමයක් භාවිත කරමින්ය.

පොලිසියේ උපදෙස් මත දුන් එම ඇමතුමට රැවටුණු  ‘චමියා’ ඇය හමුවීමේ අදහසින් දංකොටුවට පැමිණෙද්දී නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත්තේය. වඩු චමියා අන්දුන් කුන්දුන් වූයේ පොලිස් නිලධාරීන් සමඟ සිටි හිතවතියද දුටු මොහොතේය.

පසුව අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් ක්‍රියාවකින් මරණය සිදු කිරීමේ වරද යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් දෙදෙනා 19දා දක්වා රිමාන්ඩ් ගත කිරීමට මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඉන්පසු මෙම කසිප්පු නිෂ්පාදනය කළ ප්‍රධාන සැකකරු ‘වඩු චමියා’ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පොලිසිය කළ ඉල්ලීම මත දින දෙකක රැඳවුම් නියෝග හිමි විය. ඒ අනුව ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම ඇරැඹිණි.

‘’සර් පසුගිය ගංවතුරට මගේ බැරල් ටික වතුරට ගහගෙන ගියා. පස්සේ තමයි ඔය එක බැරල් එකක් දාගෙන ඔය ටික පෙරුවේ. ඒ බඩු මම හතර පොළකට දැම්මා. ඒත් තුන්පොළක කාටවත් කරදරයක් වුණේ නැහැ. එකකින් තමයි ඕක සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම වෙන්න බැහැනේ සර්. අනිත් තුනෙන්ම මුකුත් ප්‍රශ්න නැත්නම් එතැනින් විතරක් කොහොමද එහෙම වෙන්නේ. ‘’සැකකරු කී කතාව ඇසූ නිලධාරීන්ද පුදුමයට පත්විය. සැකකරු මීට පෙරද කසිප්පු විකිණීම සහ ප්‍රවාහනය කිරීම සඳහා චෝදනා ලැබූවකු විය. පොලිසිය පවසන්නේ ඔහුට එරහිව මත්පැන් නඩු 4ක් ඇති බවය. ගෝඩා බැරල් 30ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නඩුවක් තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතින බවත් 2025.08.07 වන දින එවන් චෝදනාවක් සම්බන්ධයෙන් රුපියල් 86,000ක දඩයක්ද 2025.07.02 මත්පැන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන්ද 2025.08.07 දින ගෝඩා බැරල් 15ක් සම්බන්ධයෙන් චෝදනාද ඔහුට එල්ලව තිබූ බව අපරාධ විමර්ශන අංශය කීය.

මොහු තාවකාලිකව කුලී පදනම මත නිවෙස් ලබාගෙන ඒවා තුළ ඉතා ආරක්ෂිතව නළ සහ බට යොදාගෙන කසිප්පු නිෂ්පාදනයේ නිරත වන බවද නිලධාරීහු පැවැසූහ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු විසින් විස සහිත කසිප්පු පෙරීම සඳහා භාවිත කළ යකඩ බැරලයද අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකි විය.

එය තිනර් යොදා තිබූ බැරලයක් බවට සැක කළ නිලධාරීන් එහි තිබී ගෝඩා මිලිලීටර් 37ක් සහ සැලසිලික් අම්ලය යොදා මුද්‍රා කර තිබූ වීදුරු බෝතලයක්ද වට 6ක ප්‍රමාණයේ තඹ දඟර 7ක්ද අඟුරු දමන ලද පොලිතින් පැකට් 2ක්ද අත්අඩංගුවට ගත්තේය.

‘’අපි මේ පුද්ගලයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළා. ඒ ප්‍රශ්න කිරීමෙන් පස්සේ අපි නැවත ගියා මුලින්ම අත්අඩංගුවට ගත් කාන්තාවගේ නිවෙසට. ඒ නිවෙස සෝදිසි කරද්දී ඒ ගෙදර පිටිපස්සේ තියෙන කොන්ක්‍රීට් ලෑල්ලක් අස්සේ හංගලා තියපු මේ පුද්ගලයා එදා කසිප්පු ගෙනාපු පොලිතින් උරයයි, පොලිසැක් උරයයි සොයා ගත්තා. ඒකෙන් තමයි ඔය විසයි කියන කසිප්පු ගෙනත් තිබුණේ.

එහෙම පොලිතින් උරයේ කසිප්පු ගෙනල්ලා දුන්නට පස්සේ ඒ ගෙදර කාන්තාව ඒවා බකට් එකකට දාලා ඒ කසිප්පුවලට තවත් වතුර හරි මොනවා හරි දාලා කාලේ, බාගයේ පැකට් හදලා තියෙනවා. ඒවා තමයි කාලේ පැකට් එක රුපියල් 300ට විතර මේ කාන්තාව විකුණන්නේ. ඒවා බීලා තමයි විස වෙලා තියෙන්නේ. සමහර විට වඩු චමියා බඩු ගෙනත් දුන්නට පස්සේ මේ කාන්තාව ඒවා දාන බකට් එකෙන් හරි ඊට පස්සේ ඒකට දාපු මොනව හරි දෙයකින් මේවා විස වුණාද දන්නේ නැහැ. ඒ නිසා අපි ඒක නිශ්චිතව දැනගන්න මේ බාරයට ගන්න කසිප්පු සාම්පල, බැරල්, පොලිතින් උර සේරම රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඉන් අනතුරුව උප පොලිස් පරීක්ෂක සිරිවර්ධන කීවේය. මෙම කසිප්පු කෙසේ විස වූවේද යන්න නිශ්චිතවම තහවුරු වනු ඇතැයි පොලිසිය අවධාරණය කළේය.

මේ අතර මෙම ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති කසිප්පු ජාවාරම වසර ගණනාවක් තිස්සේ ඇතැම් දේශපාලනඥයන්ගේ සහ පොලිසියේ බොහෝ පිරිස්වල සහයෝගිත්වයෙන් පැවතෙන්නකි. මේ නිසා මෙම ප්‍රදේශවල පිරිමි මෙන්ම කාන්තාවන්ද කසිප්පු පානය කිරීමට ඇබ්බැහි වී සිටිති.

කලක් මෙම අරක්කු රජයේ අරක්කු මෙන් මෙම ප්‍රදේශවල අලෙවි කළ අතර සුරාබදු සහ පොලිසියේ ඇතැම් නිලධාරීන් විසින් ජාවාරම්කරුවන් සමඟ පවත්වා යමින් සිටි සබඳතා ඔස්සේ මෙම ජාවාරම ව්‍යාප්ත වී තිබේ.

සිද්ධියෙන් පසු හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා විසින් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරමින් දූෂිත නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක්ද පවත්වා තිබේ. ඒ අනුව නිලධාරීන් පස්දෙනකු මේ වන විට ස්ථාන මාරුවීම් ලබා ඇති බවද කියයි.
කීර්ති මෙන්ඩිස්



Leave a Reply

Your email address will not be published. Required fields are marked *