BREAKING NEWS
Search

සිත් පිත් නැති මුහුදු රකුසා වෛද්‍යවරයා බිලි ගනී

1477

මුහුදු රළ නිසල විය. ඒ ඔහුට අවශ්‍ය දෑ සිදු වූ හෙයිනි. මිරිස්ස වෙරළේ රළ පෙළ එකිනෙකට පොර බදිමින් සිටින අතරේ මුහුදු දිය නෑමට පැමිණි කීපදෙනෙක් ජලයේ බැස නාමින් සිටිති. විදේශීය ජාතිකයන් කීපදෙනෙකුද ඒ අතර වේ. එකවරම රළ පෙළ වැඩිවෙමින් පවතින බව නාමින් සිටි පිරිසට අවබෝධ වූයේ ඔවුන් මුහුද දෙසට වේගයෙන් ඇදී යෑමත් සමගය. ගතවූයේ තත්පර කීපයක් ගෙවී යන නිමේෂයකි. සියල්ල අවසන් විය. ජීවිතයක් ඩැහැගනිමින් මුහුදු දිය නිසල විය.

වැලිගම දිසා රෝහලට නව පත්වීමක් ලබා පැමිණි එහි ප්‍රධාන වෛද්‍ය තේජා ජයසේකර මහතා ක්‍රියාශීලී ලෙස කටයුතු කරමින් රෝගීන් වෙනුවෙන් ඉමහත් සේවයක් කළ කෙනෙකි. ඔහු වරෙක වැලිගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙසද සිය රාජකාරි කළේ කොරෝනා වයිරසය ඉතාමත් වේගයෙන් පැතිරී ගිය කාලයේදී නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දෙමිනි. ඒ අතරේ වෛද්‍ය වෘත්තීය එපාවන තරමට ප්‍රශ්න ගැටලු බාධක පැමිණි අතරේ කාලයක් විදේශ ගතව සිටියේ හැමදේම කාලය විසින් විසඳන බව ඔහු තුළ තිබෙන දැඩි විශ්වාසය නිසාවෙනි. නැවතත් මව්බිමට පැමිණි ඔහු වැලිගම දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස සිය රාජකාරි කටයුතු ඇරඹුවේ රෝගී වූ ජනතාව නීරෝගීමත් කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කළ යුතුයි යන හැඟීමෙනි. ප්‍රධාන වෛද්‍යවරයාගේ දැඩි නීති රීති හමුවේ රෝහල් කාර්ය මණ්ඩලයද ඊට අනුගතව කටයුතු කළේ ඔහු තම තමන් වැඩ කරන තැනට කොයි මොහොතේ කඩා පනීදැයි සැක සහිත වීම නිසාය. වැඩ කිරීමට හැකියාව ඇති සැමගෙන් ඔහු වැඩගත්තා නොව ඔහු හමුවේ සියල්ලන්ම වැඩ කිරීමට පෙළඹුණේය. මේ අතර ඔහු රෝහලේ අඩුපාඩු ක්‍රමයෙන් සකස් කිරීමේ කටයුතු ආරම්භ කළේ පරිත්‍යාගශීලීන්ගේ උපකාරද රැගෙනයි. මෙවන් සේවා රාශියක් ආරම්භ කරමින් වැලිගම ජනතාවගේ ප්‍රසාදයට පත් වෛද්‍ය තේජා ජයසේකර පසුගිය නත්තල් දින සවස් වරුවේ විවේකීව ගත කිරීමට සිය බිරිඳ සහ දරුවන් දෙදෙනාද සමග මිරිස්ස වෙරළ තීරයේ මුහුදේ නාමින් සිටි අතර එකවරම ආ රැළි පහරකට මුහුණ දී ඇත. පසුව එහිදී එම තිදෙනා ම දියේ ගිලී ඇත. එම අවස්ථාවේ වෛද්‍යවරයා තම ලොකු පුතාගේ කකුල්වලින් උස්සා දිය මතට ගෙන ආ බවත් වයස අවුරුදු දහයක් පමණ වන ඔහුගේ ලොකු පුතා සිය මවට පවසා ඇත. ජයසේකර මහතාගේ බිරිඳ සහ පුතා එහි නාමින් සිටි විදේශීය ජාතිකයන් විසින් ගොඩට ගෙනවිත් තිබෙන අතරේ දියේ ගිලු‍ණු වෛද්‍යවරයා ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහුගේ දේහය පසුව ගොඩ ගෙන මාතර මහ රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව නත්තල ට පසුදින සවස ඔහුගේ දේහය වැලිගම වල්ලිවල පිහිටි නිවෙස වෙත ගෙන එන ලදි. සිය සැමියාට අත්වූ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව තිළිණි කුමාරි මහත්මිය “දිවයිනට”‍ ට මෙසේ පැවසුවාය.

“නිවාඩු දවසේ දරුවන් දෙදෙනාත් එක්ක අපි වෙරළට ආවා. ඒ මුහුදේ දියනාමින් සතුටක් ලබන්න. මුහුදේ ගැඹුරක් තිබුණේ නැහැ. ඉනේ ප්‍රමාණයට පමණයි වතුර තිබුණේ. ඒ නිසා බයක් නැතිව එයා වෙරළට ගියා.මගේ කරට අතදාගෙන එයා මාත් එක්කගෙන ගියා. එයා බොහොම ආදරයෙන් කතා කරපු නිසයි මාත් මුහුදට ගියේ. අප සතුටින් උඩ පැන පැන හිටියේ. ඩොක්ටර් ඒ වේලාවේ ‍සතුටින් අප සමග හිටියේ. එක වෙලාවක ඩොක්ටර් කිව්වා. ඔහොම නොවෙයි. රළ පහර එන විට උඩ පනින්න කියලයි. එක පාරටම දිය පහරක් ආවා. මගේ මට්ටමට උඩින් සැඩ පහර ගියා. මීටර් 10 ක් එහායින් මහත්තයා හිටියෙ. මාත් ගිලෙන්න ගියා. වටේ ඉන්න අයට ඒක තේරුණේ නැහැ. අපිට මීටර් 25 ක් පමණ එහායින් ඉන්න කෙනෙකුගෙන් උදව් ඉල්ලු‍වා. නමුත් ආපු කෙනාට එතරම්ම පිහිනන්න හැකියාවක් තිබුණෙ නැහැ. තවත් අයෙකුගේ ආධාරයෙන් මා ගොඩබිමට ආවා. මං හි‍තුවේ මම පමණයි අනතුරට පත් වුණේ කියලා. පුතාටත් පිහිනන්න බැහැ. මහත්තයා පුතාගේ කකුලෙන් උස්සල තිබුණා. ඒ නිසා එයාගේ ජීවිතය බේරගන්න පුළුවන් වුණා. මම පුතාගෙන් ඇහුවා තාත්තා කෝ කියලා. තාත්තා නැහැ කියලා එයා කිව්වා. විනාඩි කට විතර පසුව පිහිනුම්කරුවන් කිහිප දෙනෙකු සර්ෆ් බෝඩ් එකක තියාගෙන මහත්තයා අරගෙන ආවා. එයාගෙ කටින් සෙම දානවා දැක්කා. එයාටත් පිහිනන්න බැරි වෙලා.

තේජාන් ජයසේකර වෛද්‍යවරයා මහජනයා සමග සමීපව කටයුතු කළ රාජ්‍ය සේවකයෙක්. කොවිඩ් අවස්ථාවේද වැලිගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලෙස ඉටුකරන ලද මෙහෙවර තවමත් වැලිගම ජනතාවට සිහිපත් කරන්නේ ගෞරවයෙනි. එහෙත් ජීවිතයක සතුටක් අත්විඳින්නට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවන්නට තේජාන් මහතාටද සිදු වූයේය. වෛද්‍යවරයෙකු රටට අහිමිවීම දැරිය නොහැකි පාඩුවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඊටත් වඩා බිරිඳටත්, ආදරණිය දරුවන් දෙදෙනාටත් පිරවිය නොහැකි සෙනෙහසක් අහිමිව ඇත්තේ දරුවන් දෙදෙනකුගේ පියෙකු වන ඔහු මියයන විට 49 වැනි වියෙහි පසුවිය. වෛද්‍ය තේජා ජයසේකර මහතා ගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ඊයේ (28දා) විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවුලේ සුසාන භූමියේ දී සිදු කරන ලදී.

මාතර අතිරේක – ලලිත් පත්මසිරි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *