පොලිස් නිලධාරියෙක්ද, හමුදා නිලධාරියෙක්ද, අපරාධකරුවෙක්ද යන භේදයකින් තොරව සියලුදෙනාටම නීතිය ක්‍රියාත්මක කිරීම සිදුකරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (21) රැස්වූ පාර්ලිමේන්තු සභා වාරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
එහිදී ඔහු සඳහන් කළේ, පසුගියදා මිද්දෙනියේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙක් මෙන්ම, ගණේමුල්ල සංජීව ඝාතනයටද සම්බන්ධ පොලිස් නිලධාරියෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් සඳහා නීතිය කිසිඳු භේදයකින් තොරව ක්‍රියාත්මක කරන බවයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නමැත්තා පසුගිය 19 වැනිදා අධිකරණ ශාලවේ විත්ති කූඩුව තුලදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව දැනුම්වත් කරමින් ඔහු සඳහන් කළේ,
අපරාධයෙන් පසු වෙඩික්කරු කුලී ත්‍රිරෝද රථයකින් කඩොල්කැලේ හන්දිය නම් ප්‍රදේශයට ගොස් ඉන් අනතුරුව, නිල් පැහැති ත්‍රිරෝද රථයක නැග කොච්චිකඩේ, රිදීවැල්ල මාර්ගයේ නැවතී සිට තිබෙනවා.
එහිදී සැකකරු අපරාධය සිදුකරන අවස්ථාවේදී හැඳ සිටි ඇඳුම් පාළු ස්ථානයක් විසිකර තිබියදී පොලිසිය විසින් භාරයට ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම, මෙම සැකකරු සිටින ස්ථානයට නීතිඥවරියක ලෙසින් වෙස්වලාගෙන අපරාධය සඳහා සහාය ලබාදුන් සැකකාරිය ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති අතර, ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගනිමින් විමර්ශන සිදුකෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම වෙඩික්කරු 2019/12/12 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 03වන කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත බැඳී සෙබළ අංක 559189 යටතේ රාජකාරී සිදුකර 2024 වසරේ මැයි මාසයේදී පොදු සමාව යටතේ ඉන් ඉවත්ව සිටින බවට සඳහන් වී ඇති බවත්, මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගැනීම සඳහා පනාගොඩ, යුද්ධ හමුදා වැටුප් ලේඛණ අංශය වෙත වාර්තාව යොමු කර ඇති බවයි පාර්ලිමේන්තුවේදි අමාත්‍යවරයා සඳහන් කළේ.
සැකකරු පලායාමේදී භාරයට ගනු ලැබූ වෑන් රථයේ වාහන අංක තහඩුව ව්‍යාජ අංක තහඩුවක් බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
අපරාධය සිදුකිරීමට පෙර වෙඩික්කරු සහ ඔහු සමඟ පැමිණි කාන්තාව ලැඟුම්ගෙන සිටි කඩුවෙල පිහිටි ලැගුම්හලක් නුග්ගේගොඩ ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කොට ඇති අතර, එහි සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකරු සහ සැකකාරිය අපරාධ ස්ථානය වෙත රැගෙන ඒමට භාවිත කළ හොන්ඩා “ෆිට්” වර්ගයේ සුදු පැහැති කාර් රථයද පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.
එහිදී, අපරාධයට පෙරදින ඉහත කාර් රථයෙන් පැමිණි අයෙකු විසින් මෙම සැකකරුට සහ සැකකාරියට ලැගුම්හල තුලදී පාර්සලයක් ලබා දී ඇති අතර, ඒ එම අපරධය සඳහා යොදාගත් ගිනි අවිය සහ් අපරාධය අවස්ථාවේදී ඔවුන් හැඳසිටි ඇඳුම් බවට සැකකරුගේ ප්‍රකාශ සහ මඟපෙන්විම යටතේ කරුණු අනාවරණය කරගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එමෙන්ම, සැකකරුවන් තවදුරටත් රැඳවුම් නියෝගමත රඳවාගෙන විමර්ශන සිදුකරමින් පවතින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.




















