BREAKING NEWS
Search

නිවසක ඇති වාස්තු දෝෂ හෙළිකරන සංඥා මෙන්න

65

නිවසක වාස්තු දෝෂ පවතින බවට පෙන්වා දෙන බලවත් මිතුරා දුරකථනයට පැමිණෙන විවිධ ටෙලිෆෝන් ඇමතුම් අතරේ මේ වගේ දුරකථන ඇමතුම් ද නිතර ලැබේ.

“මහත්තයා මම මගේ අලුත් ගෙදර පදිංචියට ඇවිත් වසරක් පමණ. මට නිතරම මේ ගේ ගිනි ගන්නවා පෙනෙනවා. මැදියම් රාත්‍රී කීපයක මම මේ හීනෙ දැක්කා. මට ලොකු බයකුත් දැනෙනවා මහත්මයා. වටේම ඉන්න අය අපිත් එක්ක ඊර්ෂ්‍යයි. මුහුණට කතා කළාට මේක ගැන බලාගන්න පේන කියන අයෙක් මුණ ගැහෙන්න ඕනේ. ඒත් මට බය ඕවා බලන්න අහන්න ගිහින් නැති කරදර ඇතිවෙයිද? කියලා.”

මේ තවත් එවැනිම ඇමතුමක්. “මහත්තයා මම අනුරාධපුරේ ගේ හදලා පදිංචිවෙලා දැනට අවුරුදු 02ක් විතර. ළඟක ඉඳලා මටත් නෝනටත් පේන හීනයක් තමයි සුළඟක් ඇවිත්, එහෙම නැතිනම් අලි රංචුවක් ඇවිත් ගෙයි බිත්ති බිමට සමතලා කරනවා. මම මේ ගැන අපේ පන්සලේ හාමුදුරුවන්ටත් කීවා. උන්වහන්සේ කියනවා අපිට කවුරු හෝ කොඩිවිනයක් බන්ධනයක් කරලා විනාශ වෙන්න. හරි දන්න කෙනකු හමුවෙලා මේක ඉවත්කර ගන්න කියලා කිව්වා. මේ හා සමාන දුරකථන ඇමතුම් මා හට නිතර ලැබෙන නිසා එවැනි හීනයන්, එනම් තමන්ගේ පදිංචි නිවස විනාශ වෙනවා දැකීම කුමන හේතුවක් නිසාද එසේ නැතිනම් මෙය මානසික රෝගයක් ද කියලා සොයාබලමු. ඔබ අහල තියෙනවා නේද? කපුටාගේ කූඩුවේ කොහා බිත්තර දමනවා කියලා. මොකද කොහා කොච්චර හොඳින් මිහිරි නාදයට ගැයූවද තමන්ට කියලා කූඩුවක් හදාගන්න බැරි නිසයි මෙලෙස අනුන්ගේ කූඩුවේ බිත්තර දමන්නේ. කාරණාව ඒක වුණත් මෙහිදී වෙන සිදුවීම තමයි කොහාගේ බිත්තරවලින් එන පැටව් කපුටාගේ කියලා හිතාගෙන සද්කාර කරලා රැකබලා ගත්තද මේ තමුන්ගේ පැටව් නොවේ කියලා කපුටන්ට අවබෝධ වුණ දවසට කපුටෝ කොහාගේ පැටව් කූඩුවෙන් එළියට විසිකරලා එලෝ එලෝ කොටනවා. මොකද ඒක තමන්ගේ වර්ගයා නොවීමත් තමන්ගේ වර්ගයට නොගැළපීමත් නිසා. ඒ වගේ සිද්ධියක් තමයි මෙම වාස්තු විද්‍යාවේදී විශ්වය අනුගමනය කරන්නෙත්.

මෙම විශ්වයේ පවතින ස්වභාව ධර්මයට අයත් දේවල් තමයි ජලය, ගින්දර, වාතය, පෘථිවිය හා ආකාශය. මෙම පංච භූත ශක්තිය නිසා තමයි මනුෂ්‍යයා ගහ කොළ, සතා සිව්පාවන් හා ඔවුන්ට ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරදීලා තියෙන්නේ.

වාස්තු ශාස්ත්‍රයේදී නිවසක හිමිකාරීත්වය තිබෙන්නේ විශ්වයට. මක් නිසාද ගෙයක් විශ්වයේ නියෝජිතයකු හා සමාන ප්‍රාණය පවතින ජීවියෙක් හැටියටයි ගණන් ගැනෙන්නේ. ඉතිං අපි ගෙයක් ඉදිකර යුත්තේ විශ්වයේ නීතියට අවනතව. මොනවාද විශ්වයේ නීතිය, ඇයි අපි විශ්ව නීතියට අවනත විය යුත්තේ?

විශ්වයේ නීතිය තමයි තමන්ගේ හිමිකමට පවතින, යටත් වෙන කවුරුන්ගේ හෝ නිවසක් මෙම භූමිතලයේ ඉදිකරනවා නම් එම නිවස, නිවසේ කාමර, වැසිකිළි, ළිං විශ්ව ශක්තියට පංචධාතුන්ට හිමිවන දිශාවන්ට අනුකූල වන පරිදි ඉදිකිරීමයි. එනම් පංච ධාතුන්ගේ තේජෝ ධාතුවට අයත් දිශාව හෙවත් ගින්දරට හිමිවන දිශාව (ගිනිකොන) තුළ ජල ධාතුවට අයත් (ආපෝ) ළිඳක් ඉදිකිරීම කළහොත් සිදුවන්නේ ගින්දර හා ජලය අතර ගැටුමක් නිර්මාණයවීමයි. මෙහිදී ශක්තීන් දෙක අතර විපරිතතාවයක් හටගනී. එහි ප්‍රතිඵල අත්වන්නේ නිවැසියන්ටයි. ඒ තුළින් නිවැසියන් පීඩාවට පත් වේ. රෝගාතුර වේ. ධනය විනාශ වේ. මේවා වාස්තු දෝෂ වශයෙන් විපාක දෙමින් මනුෂ්‍යයාගේ විනාශයට හේතු ගෙන දේ. විශ්වයට තමන්ට අනුකූල නොවන දෙයක් පවතින විටදී එය ඉවත්කර දැමීමට සූදානම්ය.

මේ වගේ තමන්ට අනුකූල නොවන නිවාසය විනාශ කිරීමට අවශ්‍යය. එය පහසුවෙන්ම කරගැනීමට හැකි වන්නේ නිවසේ ගෘහ මූලිකයාව දුර්වල කර දැමීමයි. එවිට ගෙදර විනාශය ලේසියෙන්ම කරගත හැක. එසේ නම් විශ්වයෙන් මේවා කිරීමට ප්‍රථම ගෘහ හිමියාට විශේෂ පණිවිඩ ලබාදෙනු ඇත. එම පණිවිඩ සංඥාවන් වශයෙන් පෙන්වාදෙන ක්‍රමයකි. තමන් ජීවත් වන නිවස විනාශ වෙනවා දැකීම. මේවා නිවසක වාස්තු දෝෂ පවතින බවටත් මෙම නිවස විශ්වයට අවනත නොවන බවටත් කරන එක් පූර්ව දැනුම්දීමක් පමණි.

මෙයට අමතරව නිවසක විශේෂයෙන් කෙටි කාලයක් ඇතුළත පදිංචි වීමෙන් පසුව නිවසේ බිත්ති පිපිරීමේ ලකුණු කොතරම් හොඳින් නිවසක වහලය පැවතුන ද නිතර වර්ෂාවලදී නිවස ඇතුළත තෙමීම. නිවස සුළු වේලාවකට හෝ වසාදමන අවස්ථාවල දුර්ගන්ධයට පත් වීම. මෙවැනි විශ්වයෙන් දෙන සංඥාවන් නිවසට කොඩිවින, බන්ධන කිරීමක් පෙන්වන දෙයක් නොව මෙම නිවසේ වාස්තු දෝෂ පවතින බවටත්, එය වර්ධනය වී නිවස විනාශවීමට ප්‍රථමයෙන් විනාශයෙන් බේරාගැනීමට කරන සංඥා හෙවත් පූර්ව වාස්තු දෝෂ සම්බන්ධයෙන් පෙන්වාදෙනු ලබන්නකි.

නිවස ඇතුළත කොපමණ අස්පස් කර තැබූවද සුළු මොහොතකින් නිවස හැඩි වෙනවා නම් අපිරිසිදු වෙනවා නම් එම නිවසේ වාස්තු දෝෂ සම්බන්ධයෙන් විශ්වය දෙන පූර්ව දැනුම්දීමකි. නිතර විවිධ පක්‍ෂීන් නිවස ඉදිරිපිට මරණයට පත්වීම, බිත්තිවල වැදී බෙල්ල කැඩී මිය යෑම, සිව්පාවන් නිවස ඇතුළේ නිවස අවට මිය යෑමද, කඩි, කූඹි, තෙල් කූඹි, ගඳ කූඹි නිවස ඇතුළත කොපමණ පවිත්‍ර කළද ඔවුන් සිටී නම් ඒවා නිවසට පෙන්වන අශුභ බව හඟවන දේවල් වේ. නිවස තුළ කිසිම හේතුවක් නොමැතිව බැණ වැදීම, රණ්ඩු සරුවල් වීම, අසමගිය, ගෙදර ඇති කරන සුරතල් සතුන් බල්ලන්, වෙළෙඳුන්, වගේම කූඩුකර සිටින සුරතල් පක්‍ෂීන්, විසිතුරු මසුන් ඇති කිරීමට ඉඩ නොදී මියයයි නම් එම නිවසේ වාස්තු දෝෂ පවතින බවට වන දැනුම් දීමකි.

මෙලෙස කාලයත් සමග ගෘහ හිමියාව ආර්ථික වශයෙන් දුර්වල කරයි නම් ව්‍යාපාර කටයුතු බංකොලොත් භාවයට පත්වෙලා නම් ආදායම් මාර්ග අවහිර කිරීම්, රැකියාවේ නොයෙක් බාධා පීඩා ඇතිවීම්, ගෙදර සතුට සාමය අහිමිවීම, නිතර කේන්තියෙන් සිටීම, රණ්ඩු සරුවල් ඇතිවීම, හදිසි අනතුරු තත්ත්වයන් ඇතිවීම් සිදුවෙනවා නම් මේවා සිදුවන්නේ පූර්ව දැනුම්දීමෙන් අනතුරුව කරන බලපෑම්ය. තමන්ට කොතරම් දැනුම්දීම් සිදුකළ ද ඒවාට නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා දෙවන වටයේ සිදුවන්නේ ගෘහ හිමියාට, ඔහුගේ ආර්ථිකයට, විවාහයට පහරදීමයි.

බොහෝදෙනකු සිතන කරුණක් නම් විශේෂයෙන් බෞද්ධ නොවන අය මේ වාස්තු දෝෂ ඔවුනට අයත් දෙයක් නොවන බවත් “අපිට නම් ඕවා බලපාන්නේ නෑ, අපි ඕවා බලන්නේ නෑ” යනුවෙනි. නමුත් වාස්තු ශාස්ත්‍රය යනුවෙන් හඳුන්වන්නේ ආගමක් හෝ ආගමකට අයිති දෙයක් නොවේ. වාස්තු විiාව යනු අප ඉදිකරන නිවසේ යහපත්ව වෙසීමයි. යහපත්ව වෙසීම සඳහා නිරෝගිකම හා සතුට අවශ්‍යයි. සතුට ප්‍රීතිය අත්විඳීමට නම් එම නිවසෙහි ආර්ථික දුෂ්කරතා වගේම අසමගිකම දුරුවිය යුතුය. මේවා නිසි ආකාරයට බලවත්වීමට එම නිවස විශ්වයේ නීතියට අනුකූලව ඉදිකරගත යුතුයි. අපි සියලුදෙනාම විශ්වයේ නිර්මාණකරුවෝ වෙමු. අපව පාලනය කරන්නේ විශ්වය මගිනි. විශ්වය ආගම් වෙන්කර දී නොමැත. ආගම යනු තමාගේ විශ්වාසය මත කරන ඇදහිල්ලකි. එම නිසා වාස්තු හෝ ජෝතිෂ්‍යය යනු එක ආගමකට අයත් දෙයක් නොව, මෙම විශ්වයේ ජීවත්වන සියලුදෙනාට පොදු ධර්මතාවයකි. එම නිසා ඔබ නිවසක පදිංචි වීමෙන් පසු විශ්වය මගින් කෙරෙන්නා වූ පූර්ව දැනුම්දීම් සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතුය.

නියපොත්තෙන් කඩා දැමීමට හැකි දේ පොරවෙන් කපන ආකාරයට වැටෙනතුරු නිහඬව සිටීම ඔබ කරගන්නා අනුවන කමකි. මක් නිසාද විශ්වය ඔබගේ සතුරකු නොව ඔබගේ මිතුරකු වන නිසාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *