Latest Articles
Search

අලුත උපන් බබෙක් අසනීප වෙන්න පුළුවන් විධි

220

පෙරුම් පුරල දෝතට ගත්ත පුංචි දරු පැටියට ලෙඩක් දුකක් වෙනව කිව්වම කොයි අම්ම තාත්තද ඉතින් කැමති. හැබැයි අලුත උපන් පුංචි බබාල කියන්නෙ ලේසියෙන්ම ලෙඩරෝග වලට ගොදුරු වෙන්න පුළුවන් කට්ටිය. මොකද එයාලගෙ ප්‍රතිශක්තීකරණ පද්ධතියත් අලුත්නේ. ඉතින් ලෙඩරෝග හඳුනගෙන වළක්වාගන්න කල් යනව. ඒ නිසා තමයි ඒ පුංචි පැටවුන්ව බාහිර පරිසරයේ විසබීජ වලින් එහෙම හුඟක් පරිස්සම් කරන්න කියන්නෙත්. ඔන්න ඔය කාරණේ ගැන, ඒ කිව්වෙ අලුත උපන් පුංචි පැටවුන්ට හැදෙන්න පුළුවන් සුලභ ලෙඩ රෝග කිහිපයක් ගැන තමා මේ කියන්න යන්නෙ.

Advertisement

1. Birth Injuries – උපතේදී ඇතිවන ආබාධ

මේ කියන්නේ බබා ඉපදෙන අවස්ථාවේදී සිදුවන පොඩි පොඩි injuries ගැන. බබා ප්‍රමාණයෙන් විශාල වීම, ගර්භාෂයේ වෙනස් ඉරියව්වලින් සිටීම වගේ හේතු නිසා තමයි උපතේදී මේ birth injuries ඇතිවෙන්න පුළුවන් කියන්නෙ. හුඟක් වෙලාවට අඬු (forceps) භාවිතා කරන අවස්ථාවලදි තමයි මෙහෙම injuries ඇතිවෙන්නෙ. ඒ බොහොමයක් ඒව ඉතාම සුළු තැලුම්, පැල්ලම් එහෙමත් නැත්තම් හීරීම් වගේ ගැටළු. හැබැයි ඉතාම කලාතුරකින් ස්නායු වලට හරි අස්ථි වලට හරි හානිවෙන ටිකක් බරපතල අවස්ථාවන් තියෙන්න පුළුවන්. එහෙම බරපතල නොවෙන අනික් සුළු ආබාධ හැම එකක්ම ප්‍රතිකාර නැතුවම කාලයත් එක්ක සුව වෙන ඒවා.

Advertisement

2. බබා කහවීම

මේකනම් හුඟ දෙනෙක් දන්න තත්ත්වයක්. ඉතාම පොදු හුඟක් බබාලට ඇතිවෙන තත්ත්වයක්. මේකෙදි වෙන්නෙ බබාගෙ ඇස් වලින් පටන් අරන් හම දක්වා කහ පැහැයක් පැතිරෙන එක. ඒකට හේතුව තමයි බබාගේ ලේ වල අධික බිලිරුබින් මට්ටමක් පැවතීම සහ ඒ අනවශ්‍ය බිලිරුබින් ඉවත් කරගන්න තරම් බබාගෙ අක්මාව වැඩිල නැති වීම. ලාවට ඇතිවෙන ඇස්වල කහ පැහැය වගේනම් ටික දවසකින් ඇරිල යන්න පුළුවන්. ඒකට ප්‍රතිකාරයක් විදිහට උදෑසන 7ත් 8ත් අතර පායන මද අවුවට බබාව අල්ලන්න පුළුවන්. හැබැයි ටිකක් වැඩියෙන් බබා කහවෙලානම් රෝහල් ගත කරල ප්‍රතිකාර ලබාගන්නම වෙනව.

Advertisement

3. Colic – කොලික්

කොලික් කියන්නෙත් මාස තුනට වඩා අඩු හුඟක් බබාලට ඇතිවෙන්න පුළුවන් තත්ත්වයක්. කිරිත් එක්ක පෙවෙන හුළං හරියට ගුඩුස් විදිහට පිටවෙන්නෙ නැතුව බඩේ හුළං පිරුණම ඇතිවෙන අපහසුතාවයට පුංචි බබාල නොනවත්වා පැය ගාණක් අඬනව. හුඟක් වෙලාවට රෑ වෙද්දි තමයි මේ ඇඬිල්ල පටන් ගන්නෙ. ඒ නිසාම ඉස්සරනම් කිව්වෙ ඉතින් බාලගිරි දෝශය කියල. මේ කොලික් තමයි ඔය බාලගිරියා. මාස තුනෙන් පස්සේ තනියම ගුඩුස් යවාගන්න පුළුවන් මට්ටමට ආවට පස්සෙනම් මේ තත්ත්වය ඉබේම මඟහැරිලා යනවා.

Advertisement

4. කැස්ස

කිරිබොන අවස්ථාවේදී පියයුරු වලින් කිරි ගලාගෙන එන වේගය වැඩියිනම් බබා ඒ වේගයෙන් කිරි ගිලින්න බැරි නිසා කහින්න පුළුවන්. හැබැයි කිරි බොන වෙලාවට නොනවත්වා කහිනවනම් ඒක පෙනහළු හෝ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ගැටළුවක් වෙන්නත් පුළුවන්. ඒ වගේම රෑට නොනවත්වා කහිනවනම් ඒකත් ශ්වසන පද්ධතිය ආශ්‍රිත ගැටළුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔය අවස්ථා දෙකේදීම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම තමයි වඩාත්ම සුදුසු.

Advertisement

5. කිරි වමනය

හුඟක් බබාල කිරි බිව්වට පස්සෙ කිරි පොඩි ප්‍රමාණයක් වමනෙ කරන එකනම් සාමාන්‍ය තත්ත්වයක්. ඒක මගහරවා ගන්නත් එක්ක තමයි කිරි බිව්වට පස්සෙ හරියට ගුඩුස් යවන එක හුඟක්ම වැදගත්. හැබැයි ඒ වමනය කරන කිරි කොළ පැහැයටකට හුරු වෙනවනම්, නිතර වමනය කරනවනම් ඒක වෛද්‍ය උපදෙස් ලබාගන්න ඕනෙම තත්ත්වයක්. එහෙම නැතිනම් ප්‍රධාන ගැටළුවට අමතරව බබා විජලනය වෙන්නත් පුළුවන්.

Advertisement

6. උණ

හැමෝගෙම වගේම පුංචි බබාලගෙත් උණ කියන්නේ රෝග ලක්ෂණයක්. ශරීරය මොකක්හරි අසාදනයකට එරෙහිව සටන් කරනව කියන එක පිටට පෙන්නන විදිහ තමයි උණ කියන්නෙ. කොහොම උණත් දිගටම පවතින අංශක 101ට වැඩි උණ කියන්නේ මොළේ හානි පවා ඇතිවෙන තරමට භයානක වෙන්න පුළුවන් තත්ත්වයක් පුංචි බබාලට. ඒ නිසා උණ කියන දේ අඩුවෙයි කියල බලාගෙනනම් ඉන්න එපා. වෙන කිසිම හේතුවක් නැතුව උණ තියෙනවනම් ඉක්මනින් වෛද්‍යවරයෙක් මුණගැහෙන්න.

Advertisement

7. ශ්වසන ගැටළු

නහයේ ඇතුළත සහ ශ්වසන මාර්ගය අවහිර වීම නිසා ඇතිවෙන හුස්ම ගැනීමේ අපහසුතාවයත් හුඟක් පුංචි බබාල අතරේ සුලභව දකින්න පුළුවන්. මේක ඉතාම සාමාන්‍ය තත්ත්වයක් වගේම නහයට දාන ඩ්‍රොප් එකක් මඟින් හෝ නහයෙ හිරවුන සෙම එලියට ඇදල ඉවත්කිරීම මඟින් මගහරවා ගන්න පුළුවන්.

Advertisement

හැබැයි බබාගේ හුස්ම ගැනීමේ වේගය වැඩිවීමනම් ටිකක් අනතුරුදායක තත්ත්වයක්. කොහොමත් පුංචි බබාල වැඩිහිටි කෙනෙකුට වඩා වේගයෙන් හුස්ම ගන්නව. හැබැයි ඒ වේගය විනාඩියකට හුස්ම වාර 60 කටත් වඩා වැඩීනම්, හුස්ම ගන්න අතරෙදි ගොරවන ශබ්දයක් පිටකරනවනම්, බබා නිල් පැහැයට හැරෙනවනම් අනිවාර්‍යෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්නම අවශ්‍යයි.

Advertisement

කොහොම වුණත් පුංචි දරුවෙක් කියන්නෙ ඒ ලෝකෙට අලු‍ත් ජීවියෙක්. අපිට එයාව තේරෙන්නේ නැහැ වගේම එයාට අපිව තේරෙන්නෙත් නැහැ. දෙගොල්ලන්ටම දෙගොල්ලන්ව තේරුම් ගන්න කාලයක් අවශ්‍යයි. ඒකම තමයි පුංචි බබලගේ මුල් මාස තුනක කාලය තමයි දෙගොල්ලන්ටම අපහසුම කාලසීමාව කියලත් කියන්නේ. මේ මුල් මාස තුනේදී බබා ගැන හුඟක්ම අවධානයෙන් හිටියොත් ඔය කියපු හුඟක් ලෙඩ රෝග කලින්ම අඳුරගන්න පුළුවන්. ඒ වගේම තමයි පුංචි ලෙඩක් උනත් ඔන්ලයින් වෛද්‍ය උපදෙස් අහ අහ නොඉඳ ඉක්මනින් සුදුසුකම්ලත් වෛද්‍ය වරයෙකුගෙන් උපදෙස් ප්‍රතිකාර ලබාගැනීමත් හරිම වැදගත්. මොකද පුංචි බබාලට අපිට වගේ මේකයි මට තියෙන අමාරුව කියල කියන්න තේරෙන්නෙ නැහැනේ. ඒ නිසා ඒ ගැන දන්න කෙනෙකුටම තමයි ප්‍රතිකාර කරන්නත් පුළුවන් වෙන්නේ.

Advertisement

 

Advertisement

Advertisement

අන්තර්ජාලයෙන්

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *