Latest Articles
Search

“කොවිඩ් කියල අපිට රට වහ ගෙන ඉන්න හැකියාවක් නැහැ” රුවන්පුර අධිවේගයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පවසයි

166

“අපි රටක් ලෙස එකට අත්වැල් බැදගෙන මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Advertisement

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පෙරවරුවේ රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

Advertisement

2014 වර්ෂය වන විට සැලසුම් අවසන් කර තිබූ රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පසුගිය රජය විසින් සම්පූර්ණයෙන් ම අතහැර දමා තිබිණි.

Advertisement

මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින ආරම්භ වූ අතර රුවන්පුර අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යනය, සැලසුම සහ ව්‍යාපෘතියේ ඉදිකිරීම් මුළුමනින් ම දේශීය ඉංජිනේරුවන්, ආයතන සහ සමාගම් අතින් සිදුවීම විශේෂත්වයකි.

Advertisement

රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේ ය.

Advertisement

“සබරගමුව පළාතේ ජනතාවට ඉතා සමීප රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ආරම්භක අවස්ථාවට එක්වන්නේ ඉතාම සතුටින්. අපි මේ ආරම්භ කරන්නේ ලංකාවේ හත්වැනි අධිවේගී මාර්ගය. එදා මට මතකයි අධිවේගී මාර්ග හදන්න පටන් ගනිපු මුල් කාලයේ ඉඳන් සබරගමුවේ අපේ ආදරණීය ජනතාව රත්නපුරේට අධිවේගී මාර්ගයක් හදන්නෙ කවදා ද කියලා අපෙන් ඇහුවා.

Advertisement

ඒ අය ගැන අවධානය යොමු කරලා, රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කරන්න අපි සැලසුම් කරලා තිබුණෙ මං හිතන්නේ 2014 වර්ෂයේ දි. එදා අපි ඒ වෙනුවෙන් සියලු සැලසුම් සකස් කරලා අවසන් කරලා තිබුණේ. එහෙත් ඊට ආරම්භයක් ගන්න කලින් මැතිවරණය පරාජය වෙලා අපට ගෙදර යන්න වුණා.

Advertisement

හැබැයි, අපි හිතුවා බලයට ආපු ඒ ආණ්ඩුව රටේ සංවර්ධනය අපි නවත්වපු තැනින් පටන් ගනියි කියලා. ඒ අයට තිබුණෙ බලය උදුර ගැනීමේ උවමනාවක් මිස රට සංවර්ධනය කිරීමේ උවමනාවක් තිබුණේ නෑ. ඒ නිසා අපි පටන් අරගෙන තිබුණ හැමදේ ම පහුගිය ආණ්ඩුවෙන් නතර කළා. ඒ විතරක් නෙමෙයි ඒ දේවල්වලට අපෙන් පළිගැනීම් කළා. අධිකරණය ඉදිරියට කොමිෂන් ඉදිරියට අපිව අරන් ගියා.

Advertisement

අපි ආපහු භාරගත්තෙ ජාතික ආරක්ෂාවත් ආර්ථිකයත් බිංදුවට දාලා සංවර්ධනය නැවතිලා තිබුණ රටක්. නමුත් අපි මේ අභියෝගය ඉතා ම සතුටින් භාරගත්තා. අපට අවශ්‍ය වුණේ හැමදාමත් මේ රටටත් ජනතාවටත් හොඳ ම දේ දෙන්න. රට දියුණු කරන්න. රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන්න.

Advertisement

ඒ නිසා මොනතරම් බාධක ආවත්, කොතරම් දුෂ්කරතා හමුවේ වුවත් අපි රජයක් විධියට අප ඉදිරිපත් කළ ප්‍රතිපත්ති යථාර්ථයක් වන තුරු ඒ වෙනුවෙන් කැප වී කටයුතු කරනවා කියන එක ඔබ දන්නවා. ආරම්භ වන රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා පළමු අදියරය වසර දෙකහමාරක් ඇතුළත අවසන් කරනවා කියලා අපේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාත් රාජ්‍ය ඇමතිතුමත් අමාත්‍යංශයේ ලේකම්තුමාත් මා සමඟ කිව්වා.

Advertisement

ඔවුන් ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරිය ඒ වෙනුවෙන් විශාල කැප කිරීමක් කරනවා. මේ මාර්ගයේ කිලෝ මීටර 24ක් වන පළමු කොටස සඳහා රජය දේශීය අරමුදල් රුපියල් බිලියන 54.7ක් වැයකරනවා. මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කරන්නෙත් දේශීය සමාගමක්. පළමු අදියරේ කටයුතු අවසන් වූ වහා ම දෙවැනි අදියර ඉංගිරිය සිට රත්නපුරයටත්, තුන්වැනි අදියරේ දී රත්නපුරේ සිට පැල්මඩුල්ල දක්වාත් රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්න අවස්ථාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

Advertisement

අධිවේගී මාර්ග තමයි මේ රටේ වැඩියෙන් ම විවේචනය වූ ව්‍යාපෘතිය. හැබැයි විවේචනය කරපු උදවිය ම අද අධිවේගී මාර්ගවල සුව පහසුව විඳිමින් එහාට මෙහාට යනවා. අපට ඒ ගැන තියෙන්නෙ නිහතමානී ආඩම්භරයක්. මොකද ඒ අධිවේගී මාර්ගයෙ ම ගිහිං ඒ අධිවේගී මාර්ගයෙම ආවා.

Advertisement

මේ මොහොත වන විටත් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුවෙනවා. මීරිගම සිට පොතුහැර දක්වා කොටස ළගඳී ම ජනතා අයිතියට පත්කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමත් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ වගේ ම පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසත් මග නැගුමෙන් වැඩ ආරම්භ කරලා තියෙනවා.

Advertisement

2006 වර්ෂයේ දී ලංකාවේ පළමු වැනි අධිවේගී මාර්ගය විධියට දක්ෂිණ අධිවේගී මාර්ගයට අපි මුල පුරන්නෙ රටේ යුද්ධයක් තියා ගෙන. අද අපි රුවන්පුර අධිවේගී මාර්ගයට මුල පුරන්නෙ රට පමණක් නෙමෙයි මුළු ලෝකය ම කොව්ඩ් වසංගතයෙන් වෙලා ගත් අභියෝගාත්මක අවස්ථාවක. ඔබ දන්නවා කොවිඩ්-19 වසංගතයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට රජයක් විධියට අපි ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා.

Advertisement

ඒ වගේ ම දුෂ්කරතා හමුවේ වුවත් රට සංවර්ධනය කිරීමේ මාවතෙන් අපි බැහැර වෙලා නැහැ බැහැර වෙන්නෙත් නැහැ. යහපත් මාර්ග පද්ධතියක් කියන්නෙ රටක දියුණුව මනින සාධකයක් කියලයි මම විශ්වාස කරන්නේ. මහින්ද චින්තනනයේ වගේ ම සෞභාග්‍යයේ දැක්මෙන් අපි ඒ ගැන පැහැදිලිව පෙන්වලා තියෙනවා.

Advertisement

මේ වන විට මුළු ලෝකය ම කොවිඩ් වසංගයට එරෙහිව සටන් කරනවා. කොවිඩ් කියල අපිට රට වහ ගෙන ඉන්න හැකියාවක් නැහැ. වෛරසයට එරෙහිව සටන් කරන ගමන් රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ගැනත් අපි හිතන්න ඕන. ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා නම් අපිට මේ තත්ත්වය පාලනය කිරීම එතරම් අපහසු වන්නේ නැහැ කියන එක ඔබ දන්නවා. ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා හැම විට ම සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදින්න.

Advertisement

අපි රටක් ලෙස එකට අත්වැල් බැඳ ගෙන මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු.”

Advertisement

Advertisement

Advertisement

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *