ලොකු උත්සවයකට සහභාගී වෙන්න යන්න කලින් නම් අපි මේකප් දා ගන්න සැලුන් එකකටම යනවා. ඒත් එහෙමයි කියලා හැම පුංචි පාටියකටම යන්න කලින් සැලුන් එකට දුවන්න බැහැනේ. ඉතින් ඒ නිසා නිවසේදීම සරල විදිහට පුංචි මේකප් එකක් දා ගන්න පුරුදු වෙන එකේ වරදක් නැහැ. ඒක ඔබේ පසුම්බියටත් පුංචි සහනයක් ගෙනත් දේවි. ඉතින් අද අපි ඔබට නිවසේදීම සරල මේකප් එකක් දා ගන්න හැටි කියලා දෙන්න හිතුවා.
හැමදේටම කලින් ඔබේ මුහුණ හොඳින් පිරිසිඳු කරගෙන ඉන්න ඕනේ. ඒ සඳහා ඔබට පුළුවන් ෆේස් වොෂ් භාවිතා කරන්න.
ඊළඟට හොඳින් තෙත මාත්තු කර ගත් මුහුණේ ක්ලේන්සර් ක්‍රීම් එකක් තවරා ගන්න ඕනේ. මේ තැවරීම කරන්න ඕනේ පිරිසිඳු පුළුන් කැබැල්ලකින්. ඊට පස්සේ උඩු අතට පුළුන් කෑල්ලකින්ම පිරිමදින්න. මේකේ තියෙන ප්‍රයෝජනය තමයි මුහුණේ සිදුරු තුලට කා වැදිලා තියෙන අපද්‍රව්‍ය පවා පිරිසිඳු කර ගැනීමට හැකි වීම.
ඉන් පසුව පුළුන් කැබැල්ලක් ආධාරයෙන් මුහුණේ උඩු අතට ටෝනර් ගල්වන්න. ඒ මඟින් මුහුණේ ඇරී ඇති රෝම කූප වැසී, සම සිනිඳු කරවනවා.
මීළඟට මුහුණේ මොයිස්චරයිස් ක්‍රීම් එකක් ගල්වන්න. මෙහි අරමුණ වන්නේ මේකප් ගල්වා තිබෙන කාලය අතරතුරදී මුහුණේ තෙතමනය රඳවා ගැනීමයි. වැඩිපුර ක්‍රීම් ගෑවී ඇත්නම්, ටිෂූ කොළයකින් පිස දමා ගන්න.
මීළඟට ආලේප කළ යුත්තේ ෆවුන්ඩේෂන් ක්‍රීම් එකයි. ඔබේ සමේ වර්ණයට ගැලපෙන සේ මෙය තෝරා ගත යුතුයි. මෙම ක්‍රීම් වර්ගය ආලේප කිරීමෙන් සමට ආරක්ෂාව ලැබෙන අතර, මුහුණේ සෑම ස්ථානයක්ම එකම වර්ණයකින් දිස් වීමට හේතු වේ.
ඔබේ මුහුණේ කළු ලප හෝ කැළැල් තිබෙනවා නම්, ඒවා මත පමණක් ආවරණ ආලේප (Concealer) මඳ වශයෙන් ගල්වන්න.
ඉන් පසුව පුළුන් හෝ ස්පොන්ජ් එකක් ආධාරයෙන් ෆවුන්ඩේෂන් මත පව්ඩර් ගල්වා ගන්න. මේවා තැවරිය යුත්තේ තුනී ලෙසයි. රෝස් පවුඩර් ආලේප කළ යුත්තේ මහතා බුරුසුවකිනි. වැඩිපුර තැවරී ඇති පව්ඩර් බුරුසුවකින් හෙමිහිට පිසදා ගන්න.
මීළඟට කළ යුත්තේ දෙනෙත් හැඩ කර ගැනීමයි. මුලින්ම ඇහි බැම පීරිමට ඇති බුරුසුවෙන් ඇහි බැම ලස්සනට පීරා ගන්න.
ඇහි බැම තුනී වැඩි නම්, අයිබ්‍රෝ පෙන්සිල් එකකින් සිහින් ඉරි ලෙස ලස්සනට ඇඳ ගන්න.
අවසානයේ අයි ලයිනර් එකකින් ඇහි බැම මත සිහින් කළු ඉරකින් මායිම ඇඳ ගත යුතුය.
මීළඟට ඇහි පිහාටු මත අයි ෂැඩො ආලේප කර ගත යුතුය. මෙය ආලේප කිරීමේදී ඇඳුමේ වර්ණය, දවසේ වෙලාව, සමේ වර්ණය, වයස සහ ඇසේ හැඩය ආදී කරුණු ගැන සැලකිලිමත් විය යුතුය.
අවසානයේ ඇහි පිහාටු මත මස්කාරා ආලේප කළ යුතුය. එයින් ඇහි පිහාටු සුන්දරව දිස් වේ.
මීළඟට කළ යුත්තේ දෙතොල් හැඩ කර ගැනීමයි. දෙතොල් වල මායිම ලිප් ලයිනර් එකකින් ඇඳ ගන්න. මේ මඟින් දෙතොලේ හැඩය කුඩා කර හෝ විශාල කර ඇඳ ගැනීමට ඔබට හැකියි.
ඉන් පසුව තොල් ආලේපන ලිප් බ්‍රෂ් එකක් ආධාරයෙන් ගල්වා ගත යුතුයි. ලිප් බ්‍රෂ් එකක් ආධාරයෙන් තොල් ආලේපන ගැල්විය යුත්තේ එමඟින් වඩාත් සුන්දරව ආලේප කිරීමට හැකියාව ලැබීමයි.
මීළඟට දෙතොල් වලට මඳ දිස්නයක් එක් කර ගැනීම සඳහා ලිප් ග්ලොස් එකක් ආලේප කර ගන්න.