BREAKING NEWS
Search

ඩෙංගුත් හිස ඔසවයි – කොරෝනා වෛරස් ආසාදනයේ හා ඩෙංගු රෝගයේ එක සමාන රෝග ලක්ෂණ කිහිපයක්ම

121

මෙම දිනවල පැතිර යන කොරෝනා වෛරස් ආසාදනයේ හා ඩෙංගු රෝගයේ එක සමාන රෝග ලක්ෂණ කිහිපයක්ම පැවතීම හේතුවෙන් එම රෝග ලක්ෂණ මතු වූ වහාම රෝගියාට පිළිගත් රජයේ රෝහලකින් හෝ රජයේ වෛද්‍යවරයෙකුගෙන් අවශ්‍ය ප‍්‍රතිකාර කඩිනමින් ලබා දීමට කටයුතු කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය.

දින කිහිපයක් පවතින තද උණ, ඇඟපත වේදනාව, මාංශ පේශීන්ගේ වේදනාව, හිසරදය වැනි රෝග ලක්ෂණ කොරෝනා වෛරස් ආසාදනය වැළඳුනු අයෙකුට මෙන්ම ඩෙංගු රෝගයට ගොදුරු වූ අයෙකුටද මතු වන නිසා එම ලක්ෂණ මතු වූ වහාම ළඟම පිහිටි රජයේ රෝහල හෝ රජයේ පිළිගත් වෛද්‍යවරයකු වෙත ගොස් අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීමෙන් රෝගියාගේ ජීවිතය බේරා ගත හැකි වන බව ඔහු කීවේය.

මෙම දිනවල පවතින කඩින් කඩ වර්ෂාව හේතුවෙන් දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙනවා, මේ නිසා මහජනතාව ඒ පිළිබඳවත් කොරෝනා ආසාදනය කෙරෙහි දක්වන සැලකිල්ල හා සමාන සැලකිල්ලක් දැක්වීම අවශ්‍යව තිබෙනවා.

විශේෂයෙන්ම තම නිවස, ගෙවත්ත, මහා මාර්ගය ඇතුළු අවට පරිසරයේ ඩෙංගු මදුරුවන් බෝවීමට මග පාදන ජලය රැුඳෙන තැන් නිරතුරුව ශුද්ධ පවිත‍්‍ර කරගැනීමෙන් ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය අවම කිරීමට හැකියාව ලැබෙනවා. ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම හරහා කොරෝනා ආසාදනය නිසා රෝහල්වල දක්නට ලැබෙන තදබදය තවත් වර්ධනය වීම වළක්වාගත හැකි යැයිද වෛද්‍ය ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම වසරේ මෙතෙක් දිවයිනෙන් ඩෙංගු රෝගීන් 7860 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒමන්ති මාරඹේ

Courtesy – Divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *