අපවත්වූ නාඋයනේ හිමිවරුන්ගේ අවසන් කටයුතු අද. කහකොඩියක් ඔසවන්නැයි ඉල්ලීමක්

105

කුරුණෑගල – මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ දී ඩක්කුවක් කඩා වැටීමෙන් අපවත් වූ මෙරට භික්ෂුන් වහන්සේලා සිව්නමගේ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා.

රජයේ ඉල්ලීම පරිදි අපවත් වූ භික්ෂුන් වහන්සේලාගේ දේහ භූමදානය කිරීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම, අනතුරින් අපවත් වූ ඉන්දීය සහ රුමේනියානු ජාතික භික්ෂුන් වහන්සේ දෙනමගේ දේහ අද උන් වහන්සේලාගේ මව් රට වෙත වැඩම කරවන අතර රුසියානු ජාතික භික්ෂුවගේ දේහය ඉදිරි දිනකදී සිය මව් රට වෙත වැඩම කරවීමට නියමිතයි.

භික්ෂූන් වහන්සේ සිව්නමකගේ දේහ මැල්සිරිපුර සිට නාඋයන ආරණ්‍ය සේනාසනය වෙත ඊයේ පෙරවරුවේ වැඩම කරවනු ලැබුවා.

අනතුරින් තුවාල ලැබු භික්ෂූන් වහන්සේ දෙනමක් තවමත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මෙම හදිසි අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේලාට සංවේගය පළ කිරීම සදහා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ සභාවේ සියලුම විහාරස්ථානවල කහකොඩි ප්‍රදර්ශනය කරන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම, භික්ෂූන් වහන්සේලාගේ අපවත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවාසී සමස්ත බොදු ජනතාවට සංවේගය පවතින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංවිධානය ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළා.

නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදු වූ ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් ආධාරක කම්බියක් කැඩී ගොස් මෙම අනතුර සිදු වන්නට ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණත් ස්ථානීය පරීක්ෂණය සිදු කළ මහව මහේස්ත්‍රාත් කංචනී සෙනෙවිරත්න පොලිසියට නියෝග කළේ ඩක්කුව කඩා වැටීම සම්බන්ධයෙන් යාන්ත්‍රික ඉංජිනේරුවරුන්ගේ සහය යටතේ විමර්ශනයක් සිදු කරන ලෙසයි.

ඩක්කුව කඩා වැටීමේ සිද්ධියට අදාළව යම් අපරාධමය වරදක් සිදුවී ඇත්ද යන්න පිළිබඳවත් පූර්ණ විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස එහිදී නියෝග කෙරුණා.

පශ්චාත් පරණ පරීක්ෂණයට අනුව එම සියලු‍ මරණ මොට බලයක් නිසා ඇති වූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුව ඇති බවටයි අධිකරණ වෛද්‍යවරයා තීරණය කර ඇත්තේ.

ඊයේ පෙරවරුවේ නා උයන ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කළ භික්ෂුන් වහන්සේලා සිව් නමකගේ දේහ වෙත අවසන් ගෞරව පුද කිරීමට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එහි පැමිණ තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *