BREAKING NEWS
Search

මහත්තයාට එදා දුම්රියේ දී නින්ද ගිහින්. ඇහැරිලා හදිස්සියේ බහින්න ගිහිං – දුම්රියෙන් ඇද වැටී මිය ගිය විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයකුගේ මරණය ගැන බිරිද හඩමින් කියන කතාව

313

“දුම්රියෙන් කොළඹ ගිය මහත්තයා ආපහු එන්න පරක්කු මොකද කියලා හිත හිතා ඉන්නකොට පණිවිඩයක් ආවා පොතුහැර දුම්රිය ස්ථානයේ දී දුම්රියෙන් වැටිලා අනතුරට ලක් වෙලා එයා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරලා ඉන්නවා කියලා. රෝහලට ගියාම දැනගන්න ලැබුණා මහත්තයා අනතුර නිසා මිය ගියා කියලා ” යැයි පොතුහැර දී දුම්රියට හසු වීමෙන් මරණයට පත් පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කළ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයකුගේ මරණය සම්බන්ධයෙන් පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් බිරිය වන එච්.එම්. මාලනී හේරත් මහත්මිය පැවසුවාය.

පොතුහැර යටිහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මාරබැද්දේ රත්නායක මුදියාන්සේලාගේ ඉන්ද්‍රපාල නමැති 62 හැවිරිදි අයකු දුම්රිය අනතුරෙන් මරණයට පත්ව ඇත. විශ්‍රාම යාමට පෙර ඔහු අවසන් වරට ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරේ සේවය කර ඇත.

එම මරණය සම්බන්ධයෙන් වන හදිසි මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු ඩී.කේ.අමරසිංහ මහතා හමුවේ පවත්වන ලදී.

එහි දී වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඇය මෙසේද සඳහන් කළාය.

වෙනදාට කොළඹ ගියාම හවස මහව දුම්රියෙන් ඇවිත් රෑ හත විතර වෙනකොට ගෙදරට එනවා. එදත් ඒ දුම්රියෙන්ම එනවා කියලා තමයි ගියේ. නමුත් මහත්තයාට එදා දුම්රියේ දී නින්ද ගිහින් තිබිලා. එයාට ඇහෙනකොට දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ නවත්වලා නැවත ගමන් ආරම්භ කරලා තිබිලා තියනවා. මේ නිසා කලබලයට පත් වෙලා ගමන් කරන දුම්රියෙන් බහින්න ගියාම තමයි එයා අනතුරට ලක් වෙලා තියෙන්නේ.

ඒ වෙලාවෙම ළඟ හිටිය කට්ටිය එකතු වෙලා සුවසැරිය ගිලන් රථයක් ගෙන්වලා මහත්තයා කුරුණෑගල ශික්ෂණ රෝහලට අරන් ගිහින් තිබුණත් එයා මිය ගිහින් කියලා දැනගන්න ලැබුණා. මහත්තයා පොතුහැර දුම්රිය ස්ථානයේ දී අනතුරකට ලක් වෙලා කියලා තමයි මට මුලින්ම පණිවිඩයක් ලැබුණේ. නමුත් ඒ අනතුර මේ තරම් බරපතළයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් බැසීමට උත්සාහ ගැනීමේ දී දුම්රිය ස්ථානයේ පදික වේදිකාවේ අවසන් කොටසින් ලිස්සා වැටී දුම්රියට හසු වීමෙන් ඔහුගේ දෙපා සම්පූර්ණයෙන්ම වෙන්ව බරපතළ තුවාල සිදුව තිබූ බව පැවසේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මොහොමඩ් සිද්දික් මහතාගේ නිගමනය වූයේ සිදුව තිබූ බරපතළ තුවාල හේතුවෙන් හටගත් රක්ත කම්පන තත්ත්වයකින් මරණය සිදුව ඇති බවය.

මරණ පරීක්ෂණයේදී ලද සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගත් කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂක අමරසිංහ මහතා මෙම මරණය දුම්රියෙන් ඇද වැටී දුම්රියට හසුවීමෙන් දෙපා වෙන්ව ඇතිවූ බරපතළ තුවාල හේතුවෙන් හටගත් රක්ත කම්පන තත්ත්වයකින් සිදුවූ හදිසි අනතුරු මරණයක් බවට තීන්දු කළේය. පොතුහැර පොලිසියේ සැරයන් අමරසිංහ මහතාද මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසුමට සහාය විය. දෙදරු පියකු වන ඔහුගේ හදිසි මරණය හේතුවෙන් පවුලේ සාමාජිකයන් මෙන්ම ප්‍රදේශවාසීන්ද දැඩි කම්පනයකට ලක්ව සිටින ආකාරය දැකගත හැකි විය. හිටපු උප පොලිස් පරීක්ෂකවරයා යටිහේන ගමේ කා අතරත් ප්‍රසිද්ධ අයකු බව පැවසිණ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *