පවුල් දෙකක සාමාජිකයන් අටදෙනකු ගමන් ගත් වෑන් රථයක් ඊයේ (16දා) අලුයම 12.10ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අතර කිලෝමීටර් 9.6 කණුව අසලදී අධිශීතකරණ (ඩීෆ්‍රීසර්) ලොරි රථයක පිටුපස ගැටී සිදු වූ මාරක රිය අනතුරකින් තරුණියක මරුමුවට පත්වී කුඩා දරුවන් තිදෙනකු ඇතුළු 7 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ගැලනිගම අධිවේගී මාර්ග පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, තවලම, පදිංචිව සිටි සඳමාලි පුෂ්පකුමාරි නමැති කේක් ව්‍යාපාරයක් කරගෙන යන 35 හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය ලබන දෙසැම්බරයේ යුග දිවියට එළැඹීමට නියමිතව සිටි බවද පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය පදවා ඇත්තේ සඳමාලි විවාහ ගිවිසගෙන සිටි තරුණයා බවද පැවසේ.
මියගිය සඳමාලි වෑන් රථයේ ඉදිරිපස වම්පස අසුනේ ගමන් කර තිබේ. අනතුරින් පසු වෑන් රථයේ සිරවී සිටි තුවාලකරුවන් බේරාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, ජීවිත ගලවා ගැනීමේ නිලධාරීන් හා අධිවේගී මාර්ග රථවාහන පොලිසියේ නිලධාරීන් කඩිනමින් එම ස්ථානයට ගොස් තිබිණි.
තුවාලකරවන් වෑතර දිසා රෝහලට හා හෝමාගම රෝහලට යැවීමට කටයුතු කර ඇති අතර, කුඩා දරුවන් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.
හෝමාගම මූලික රෝහලේ මේ වනවිට පිරිමි පුද්ගලයන් දෙදෙනකු හා කාන්තාවන් දෙදෙනකු ප්‍රතිකාර ලබන බවත් එක් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බවත් ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලිසිය පවසයි.
ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණීමට නියමිතව තිබූ මියගිය සඳමාලිගේ සොහොයුරා රැගෙන ඒමට තවලම සිට කටුනායක ගුවන්තොටුපළ වෙත ගමන් කරමින් සිටියදී මොවුන් මෙලෙස අනතුරට මුහුණ පා ඇත.
මොරගහහේන සුපිරි වෙළෙඳසල්වලට භාණ්ඩ බෙදා යළි කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ඩීෆ්‍රීෂර් ලොරි රථයේ පිටුපස දකුණු පැත්තේ වෑන් රථය ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

















