BREAKING NEWS
Search

උපන්දින සාදය පැවැත්වීමට අවසර දුන් තරු පහේ හෝටලයටත් වැඩ වරදී

151

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන් දින සාදයක් පැවැත්වීම සඳහා පහසුකම් ලබාදුන් කොළඹ පිහිටි තරුපහේ හෝටලයේ කළමනාකාරීත්වයට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පහේ හෝටලයක් තුළ සිය උපන් දින සාදය පැවැත්වීමේ චෝදනාව මත ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි ඊයේ අත්අඩංගුවට ගත් අතර, පසුව ඔවුන් ඇප මත මුදාහැරුණා.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ එම උපන් දින සාදයට සහභාගි වූ තවත් 20 ත් 25 ත් අතර පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

ඔවුන්ගෙන් 12 දෙනෙකු පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර සංචරණ සීමා පනවා ඇති මොහොතක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යාපනය – අරසඩි ප්‍රදේශයේ සාදයක් පවත්වන ලද පුද්ගලයින් පස්දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මොවුන් මත්ද්‍රව්‍ය භාවිත කරමින් මෙම සාදය පවත්වා ඇති බවයි.

සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
මොවුන්ගේ පවුල්වල සියලුදෙනා නිරෝධායනයට යොමු කරන ලෙස අධිකරණය සෞඛ්‍ය බලධාරීන් වෙත නියෝග කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම පසුගිය පැය විසි හතරේ නිරෝධායන නීති උල්ලංඝනය කළ 1,047 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

Courtesy – Hiru News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *