BREAKING NEWS
Search

මම ගුවන්යානය දැක්කා. මගේ ඇස් ඉස්සරහම කඩා වැටුණා – සිද්ධිය නිසා කම්පනයෙන් ඉන්න ඔහු ගැන ඇසෙන සංවේදී කතාව

2823

ඒ සිද්ධිය නිසා තවමත් ඔහු ඉන්නේ කම්පනයෙන්..

ආර්යන් හැමදාමත් පුරුද්දට වගේ මේ දේ කළත්, ඒ සිද්ධියෙන්  පස්සේ දැන් ඔහු ඉන්නේ කම්පනයෙන්..

දාහත් හැවිරිදි ආර්යන් අසාරි ගුවන්යානයක ශබ්දය ඇසෙන සෑම අවස්ථාවකම, එය නැරඹීමට නිවෙසින් පිටතට දිවයන බව ඔහුගේ පියා වන මාගන්බායි අසාරි පවසනවා.. ගුවන්යානා නැරඹීම ඔහුගේ විනෝදාංශයක් වූ බවයි.. ගුවන්යානාවල එංජිමෙන් නැඟෙන ශබ්දයට ආර්යන් මහත් සේ ප්‍රිය කළ අතර, පසුව ගුවන්යානය හිසට ඉහළින් පියාසර කරන විට අහසේ ඉතිරි වන දුමාරය දෙස ඔහු බලා සිටියා.. එහෙත් දැන්, ඒ ගැන සිතීම පවා ඔහුට මානසික පීඩනයක් ඇති කොට තිබෙනවා..

පසුගියදා ඔහු අහමදාබාද් නගරයේ පිහිටි සිය නවාතැනේ ටෙරසය මත ගුවන්යානා වීඩියෝ කරමින් සිටියදී එයාර් ඉන්දියා ගුවන්යානය ඔහුගේ ඇස් ඉදිරිපිටදීම කඩාවැටී ගිනිගෙන පුපුරා යෑම ඊට හේතුවයි..

“මම ගුවන්යානය දැක්කා. ඒක පහළට යමින් තිබුණා. ඊට පස්සේ ඒක ගැස්සිලා මගේ ඇස් ඉස්සරහම කඩා වැටුණා..”

අනතුරට හේතුව සොයාගැනීමට උත්සාහ කරන විමර්ශකයන්ට තීරණාත්මක ඉඟියක් බවට පත්ව ඇති මේ වීඩියෝව, මාධ්‍ය ඔස්සේ විශාල ලෙස සංසරණය වී ඇති අතර, පාසල් සිසුවකු වන ආර්යන් රටේ ඉතිහාසයේ දරුණුතම ගුවන් අනතුරුවලින් එකක කේන්ද්‍රස්ථානයේ රැඳී සිට තිබෙනවා..

“සම්මුඛ සාකච්ඡාවලට ඉල්ලීම් ගලාගෙන එනවා. වාර්තාකරුවන් දිවා රෑ නොබලා මගේ ගෙදර වටේ ඉඳගෙන එයා එක්ක කතා කරන්න අවස්ථාව ඉල්ලනවා,” මාගන්බායි අසාරි බීබීසීයට පවසා තිබුණේ අන්න එහෙමයි..

මේ සිදුවීම සහ ඉන් පසුව සිදු වූ දේ ආර්යන් කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කර ඇති අතර, ඔහු දුටු දෙයින් කම්පනයට පත්ව සිටිනවා..

“මගේ පුතා ගොඩක් බය වෙලා ඉන්නේ. එයා ෆෝන් එක පාවිච්චි කරන එකත් නතර කළා,” මාගන්බායි පවසා තිබුණේ එහෙමයි..

විශ්‍රාමික හමුදා සෙබළෙකු වන ඔහු අහමදාබාද් නගරයේ මෙට්‍රෝ දුම්රිය සේවයේ සේවය කරනවා… හෙතෙම ගුවන්තොටුපොළට ආසන්න ප්‍රදේශයක වසර තුනක් තිස්සේ පදිංචිව ඇති අතර, ඔහු මෑතකදී තෙමහල් ගොඩනැඟිල්ලක පිහිටි කුඩා කාමරයකට මාරු වූ අතර, එහි සිට නගරය ඉහළින් ඇති අහස පැහැදිලිව දැකගත හැකියි..

“මම කෝල් කරන හැම වෙලාවෙම ආර්යන් අහනවා අපේ ටෙරස් එකට ගුවන්යානා පේනවද කියලා. මම කියනවා අහසේ ප්ලේන් සිය ගණනක් පේනවා කියලා.”

ආර්යන් ගුවන්යානා ගැන උනන්දුවක් දක්වන අයෙකු බවත්, ඒවා ගමට ඉහළින් අහසේ පියාසර කරන ආකාරය නැරඹීමට කැමැත්තක් දක්වන බවත් ඔහු පැහැදිලි කළා… තම පියාගේ නව නි‍වසේ ටෙරසයේ සිට ඒවා වඩාත් සමීපව දැකගත හැකි බව දැනගැනීම ඔහුට මහත් සතුටක් ගෙන ආවා..

පොලිස් නිලධාරිනියක වීමට කැමැත්තෙන් සිටින අසාරිගේ දියණියට, එහි ප්‍රවේශ විභාගය ලිවීම සඳහා අහමදාබාද් වෙත පැමිණීමට පසුගිය සතියේ අවස්ථාවක් උදා වුණා..

ආර්යන් සිය සොහොයුරිය සමඟ අහමදාබාද් වෙත යෑමට තීරණය කළ අතර, බ්‍රහස්පතින්දා දහවල් වන විට ඔවුන් දෙදෙනා සිය පියාගේ නවාතැන වෙත පැමිණියේ, ගුවන් අනතුර සිදු වීමට ආසන්න වශයෙන් පැය එකහමාරකට පෙරයි..

“ආර්යන් අහමදාබාද්වලට ආපු පළමුවෙනි වතාව මේක. ඇත්තටම එයා ජීවිතේ ගමෙන් පිටට ගිය පළවෙනි වතාවත් මේකයි..” අසාරි පැවසුවා…

පවුලේ අය එක්ව දිවා ආහාරය ගත් අතර, පසුව දරුවන් නිවෙසේ තබා මාගන්බායි රැකියාවට ගියා. ආර්යන් ටෙරසය මතට ගොස් නිවෙස වීඩියෝ කළේ, ඔහුගේ මිතුරන්ට පෙන්වීමටයි…

එසේ රූගත කරමින් සිටින අතරතුර ගුවන්යානයක් දුටු ඔහු එය වීඩියෝ කිරීමට පටන් ගෙන ඇති අතර, ගුවන්යානයේ යම් වරදක් සිදු වෙමින් තිබුණු බව ආර්යන්ට ඉක්මනින්ම වැටහුණා..

“එය ගැස්සෙන ගමන්, වමටයි දකුණටයි හැරෙන්න ගත්තා,” ඔහු පසුව බී.බී.සීයට පැවසීය.

යානය පහළට ගමන් කරන විට, සිදු වීමට යන දේ ග්‍රහණය කරගැනීමට නොහැකිව ඔහු එය රූගත කරමින් සිටියේය. එහෙත්, ඝන දුමාරයෙන් වායුගෝලය පිරී ගිය විට සහ ගොඩනැඟිලි පිටුපසින් ගින්නක් නැඟෙන විට, අවසානයේ ඔහුට සිදු වූ දේ වටහාගැනීම අසීරු වූයේ නැත… ඔහු ඒ වීඩියෝව සිය පියාට යොමු කර, දුරකතනයෙන් ඒ බව දැනුම් දුන්ණා..

“එයා හොඳටම බය වෙලා හිටිය බව තේරුණා. ‘මම ඒක දැක්කා තාත්තේ, මම ඒක කඩාවැටෙනවා දැක්කා,’ කියලා එයා මට කිවුවා. එයාට මොකක් වෙයිද කියලා නිතරම ඇහුවා. මම එයාට කිවුවා ‘කලබල නොවී ඉන්න,’ කියලා,” අසාරි පැවසීය. “ඒත් එයා හිටියේ ගොඩක් බය වෙලා.”

වීඩියෝව තවදුරටත් බෙදා නොගන්නා ලෙසද මාගන්බායි අසාරි තම පුත්‍රයාගෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, අතිශයින් බියට හා කම්පනයට පත් ආර්යන් එය ඔහුගේ මිතුරන් කිහිප දෙනකුටද යවා තිහුණා..

“වීඩියෝ ක්ලිප් එක හැම තැනකම තිබුණ බව අපි පස්සෙ දැන ගත්තා.”

ඉන් පසු දින කිහිපය ඔවුන්ගේ පවුලට බියකරු සිහිනයක් මෙන් විය…

අසල්වැසියන්, වාර්තාකරුවන් සහ කැමරා ශිල්පීන් දිවා රෑ නොබලා ඔවුන්ගේ කුඩා නිවෙසට එන්න පටන් ගත් අතර, ඔවුහු ආර්යන් සමඟ කතා කිරීමට ඉල්ලා සිටිය…

“අපට ඔවුන් නවත්වන්න බැරි වුණා,” ඔහු පැවසීය.

පොලිස් නිලධාරීන්ද පවුලේ සාමාජිකයන් බැලීමට පැමිණි අතර, ඔවුහු ආර්යන් රැගෙන ගොස් ඔහුගේ ප්‍රකාශයක්ද සටහන් කරගත්තා..

ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබූ ආකාරයට, ආර්යන් පොලීසියේ රඳවා තබා නොගත් බවත්, ඔහු දුටු දේ පිළිබඳ පොලීසිය පැය කිහිපයක් ඔහුගෙන් ප්‍රශ්න කළ බවත් මාගන්බායි කීවා…

“ඒ වෙලාවෙ මගේ පුතා ගොඩක් කලබල වෙලා හිටියෙ, අපි එයාව ආපහු ගමට යවන්න තීරණය කළා.”

නිවෙසට පැමිණි පසු ආර්යන් නැවත පාසල් යෑමට පටන්ගෙන තිබේ. එහෙත්, ඔහු තවමත් සාමාන්‍ය තත්ත්වයට පත් වී නැති බවත්, ඔහුගේ මව ‘ෆෝන් එක රිං වෙන හැම වෙලාවක ම එයා බය වෙනවා,’ කියා පවසන බවත් මාගන්බායි අසාරි බී.බී.සීයට පැවසුවා..

“කාලයත් එක්ක එයා සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි කියල මං හිතනවා. ඒත් මගේ පුතා ආයෙත් ගුවන්යානා බලන්න උත්සාහ කරයි කියලා මම හිතන්නේ නැහැ,” ඔහු තවදුරටත් පවසා තිබුණා..’

සිළුමිණ පුවත්පත ඇසුරෙන්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *