BREAKING NEWS
Search

එකම ශබ්දයක් විතරයි මට ඇහුණේ – පාස්කු ප්‍රහාරයෙන් දෑස් අහිමි වූ එලීසා ඩෙබීගේ කඳුළු කතාව

128

අදින් වසර 06කට පෙර සිදු වූ ඒ මිලේච්ඡ ප්‍රහාරයෙන් පිරිසකට දිවි අහිමි වෙද්දී තවත් බොහෝ පිරිසක් වචනයට පෙරළිය නොහැකි තරම් අඳුරු මතකවල සිරකරුවන් බවට පත් වුණා.

ලෝකය හරිහැටි නොදුටු අහිංසක පුංචි මල් කැකුළු පවා බිලිගත් බෝම්බය තවත් ජීවිත රැසකට යදම් දැම්මේ, ඔවුන් කළ වරද කුමක්දැයි අදටත් පැනයක් ඉතිරි කරමින්.

මඩකලපුවේ පුංචි එලීසා ඩෙබීගෙන් එදා ඇගේ දෙනෙත් පවා බෝම්බය සොරා ගත්තත් ඇය අද නිහඬවම ලියන ඇගේ අලුත් ඉරණමේ කතාවයි මේ.

මීට වසර 6කට පෙර මඩකලපුව සියෝන් දේවස්ථානය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක් වුණේ ජීවිත 31ක් බිලිගනිමින්.

උත්තාන වූ ජේසුස් වහන්සේ වෙනුවෙන් එදා සියෝන් දේවස්ථානයට ගිය බොහෝ දෙනෙකුට ඉතිරි වුණේ අඳුරු මතකයක් පමණයි.

තැන තැන විසිරුණු යකඩ බෝල, මූනිස්සම් කැබලි , ගරා වැටුණු බිත්ති තවමත් එලෙසමයි

එලීසා ඩෙබී… පුංචි මල් කැකුලක්…

එදා පාස්කු ඉරිදා අම්මයි තාත්තයි අයියයි එක්ක දේවස්ථානයට ගිය ඩෙබී ඒ කුරිරු බෝම්බයේ ගොදුරක් බවට පත් වුණා.

බෝම්බ ප්‍රහාරයෙන් ඩෙබී සහ ඇගේ සහෝදරයාගේ ජීවිතය බේරුණත් ඇයට ඇගේ අම්මයි තාත්තයි පමණක් නොව ඇගේ පුංචි ඇස් දෙකත් ඇයට සදහටම අහිමි වුණා.

දැන් ඩෙබීට වයස අවුරුදු 12ක්.

සියල්ල එකවර අහිමි වුණු ඩෙබී බ්‍රේල් අකුරු මත ඇඟිලි දවටමින් දෙසවනට ඇහෙන තාල රටා වලට හුරුවෙමින් දවස් ගෙවනවා.

අදටත් මොනාහරි ලියන්න කිව්වොත් ඇය මුලින්ම ලියන්නේ අම්මයි තාත්තයි කියලා

ඩෙබී දැකපු ලස්සන පාට පාට හීන කළු පාටින් හැඩි කරන්න කාටද උවමනා වුණේ. ඇයි මේ විදිහට මේ ජීවිත විනාශ කළේ?

මේ කුරිරු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සියලු දෙනාගේ ආත්ම කවදා හෝ සත්‍යය හා යුක්තිය ඉටුවන තුරු මොරනගනු ඇත.

සත්‍ය යටපත් කළ හැක එහෙත් සත්‍ය කිසිදා මිහිදන් කළ නොහැක !

“එකම ශබ්දයක් විතරයි මට ඇහුණේ, මට රිදෙනකොට තමයි මම දන්නේ තුවාල වෙලා කියලා. මට ඒ වෙලාවේ සිහියක් තිබුණේ නැහැ. ටික වෙලාවකින් මට සිහිය එනකොට මගේ ඇඟේ ගොඩාක් තුවාල තිබුණා. අතේ කොටසක් තුවාල වෙලා තිබුණා. ඒක මට දැනුනේ නැහැ.” සංවේදී වෙමින් එලීසා පැවසුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *