BREAKING NEWS
Search

පොලිසියයි ලංගමයි ලොරියක ගැටී දෙදෙනෙක් රෝහලට

36

මිදිගම පොලිසියට අයත් කැබ් රථයක සහ ලංගම බස් රථයක ලොරි රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කුඹල්ගම හන්දිය ප්‍රදේශයේදි අනතුර සිදුව ඇති බවයි වැලිගම පොලිසිය පැවසුවේ.

මෙම අනතුර අද (16 ) දින උදෑසන 5:30ට පමණ සිදුව තිබෙනවා.

මිදිගම පොලිසියට අයත් කැබ් රථයක් ජංගම මුර සංචාරය සඳහා පැමිණ කුඹල්ගම ප්‍රදේශයේදී මාර්ගය අයිනේ වෙළඳ සැලක් අසල නවත්වා ඇති බව පැවසෙනවා.

එම අවස්ථාවේදී ගාල්ල මාතර අතර ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් පැමිණ කුඹල්ගම හන්දියේ නතර කොට මගියෙකු නංවාගෙන බස් රථය ගාල්ල දෙසට ඉතාමත් සෙමින් ධාවනය කර තිබෙනවා.

එම අවස්ථාවේදී මාතර දෙස සිට වැලි ප්‍රවාහනය කරන ලොරි රථයක් ගාල්ල දෙසට ධාවනය කිරීමේදී බස් රථයේ සහ නවතා තිබූ කැබ් රථයේ ගැටී ඉදිරියට ධාවනය කළ බව පැවසෙනවා.

එහිදී නවතා තිබු මිදිගම පොලිසියට අයත් කැබ් රථයට සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයට දැඩි ලෙස අලාභ හානි සිදුව තිබෙනවා.

අනතුරින් ලොරි රථයේ ගමන් කළ පුද්ගලයෙකු සහ බස් රථයේ ගමන් කළ පුද්ගලයෙකු තුවාල ලබා මාතර මහ රෝලට ඇතුළත් කළ බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු වන හුංගම ප්‍රදේශයේ පදිංචි අයකු වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් ලොරි රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක පහළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *