මෙරට සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය තුළ ඉකුත් 8දා සිට 14දා දක්වා ධාවනය වූ වාහන හත්ලක්ෂ හැත්තෑතුන්දහස් හත්සිය තිස් හතකින් රුපියල් මිලියන දෙසීය දහයකට අධික ආදායමක් උපයාගෙන තිබේ.
එසේ ආදායම් උපයාගෙන ඇත්තේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම අධිවේගී මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලිනි.
මේ අනුව, ඉකුත් 10දා එම අධිවේගී මාර්ග තුළ වාහන එක්ලක්ෂ හතළිස් එක්දහස් එකසිය අසූහතක් (141,187) ධාවනය කිරීමෙන් රුපියල් මිලියන 38.28ක් උපයාගෙන ඇති අතර එම දින කිහිපය තුළ වැඩි ම ආදායමක් උපයා ඇත්තේ එදින ය.
මේ සම්බන්ධයෙන් මෙරට අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ වැඩබලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතාගෙන් විමසීමේදී කියා සිටියේ, උත්සව සමයේදී ජනතාව සිය ගම්බිම් බලා යෑම හා විනෝද චාරිකා යෑම සඳහා අධිවේගී මාර්ග යොදාගැනීම හේතුවෙන් මෙවැනි ආදායමක් උපයාගැනීමට හැකියාව ලැබුණු බව ය.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඉකුත් වසරේ අවුරුදු සමයේ අධිවේගී මාර්ග පද්ධති තුළ වාහන ගමනාගමනය සීමාකර තිබූ බැවින් එම වසරේ හා මෙම වසරේ ආදායම්වල අඩු වැඩිවීම් පිළිබඳ සඳහන් කළ නොහැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.




















