BREAKING NEWS
Search

නැති අය කුසගින්නේ තබා කනවට වඩා අහක යවන ලංකවේ කෑම ගැන ඇසෙන ඇස් උඩ යන කතාව

111

කුරිරු කුසගින්නක ප්‍රතිවිපාක අතිශය වේදනාකාරීය, අමිහිරිය. කුසට අහරක් නොමැතිව ජීවිතය යදින්නන් ලොව අනන්තවත් ඇත්තේය. මන්දපෝෂණයෙන් පෙළීම, රෝගීවීම එහි අහිතකර ප්‍රතිඵලයන් ලෙස දැක්විය හැකි අතර එහි අවසන ප්‍රතිඵලය මරණයට පවා ලක්වීමය. අද වනවිට මෙරට තුළද පවතින ආර්ථික අර්බුදය හමුවේ ආහාර හිඟයක් නිර්මාණය වී ඇති බවද සැබෑය. එමෙන්ම අප සමාජයේ කුමන තරාතිරමක වූවකුට ද කුසගින්නට ආහාර අත්‍යවශ්‍යය. එහෙත් ධනවතුන් හා මධ්‍යමපාන්තිකයින් ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමේදී පමණටත් වඩා ආහාර අනුභවයේ යෙදෙන්නේ වැඩි ආහාර ප්‍රමාණයක්ද අපතේ යවමින්ය.

ලෝකයේ මෙන්ම මෙරට ද දුගී දුප්පතු ජන කොට්ඨාස ආහාර සපයාගැනීමේ ගැටලුවට මැදිව අනේක විධ රෝගාබාධයන්ට ද ලක්ව සිටිති. එවැනි තත්ත්වයක් තිබිය දී මෙරට ආහාර සුරක්‍ෂිතතාවය හා ආහාර අපතේ හැරීම පිළිබඳ අප කතාකරන්නේ මෙරට වැඩිදෙනකු ආහාර වේල සපයා ගැනීමේ ප්‍රශ්නයට මුහුණ පා ඇති නිසාමය.

ආහාර අපතේ දැමීම අතින් ලංකාව පෙරමුණේ

ලංකාවේ ආහාර අපතේ හැරීම ගෝලීය දත්තයන්ට වඩා වැඩි බව 2021 වර්ෂයේදී ලෝක ආහාර සංවිධානය විසින් ලංකාවේදී කළ සමීක්‍ෂණයකින් වාර්තා කර ඇත. ඒ අනුව ආහාර අපතේ හැරීම 30%-40% වන අතර දිනකට නාගරික ප්‍රදේශවල එකතුවන ටොන් 7000ක පමණ ඝන අපද්‍රව්‍යවලින් ආහාර අපද්‍රව්‍ය පමණක් ටොන් 4000ක ආසන්න ප්‍රමාණයක් වන බව එම සමීක්‍ෂණයෙන් හෙළිවී ඇත.

ලෝක ආහාර සංවිධානය සහ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය විසින් කොළඹ නගරයේ තරු හෝටලයක කළ සමීක්‍ෂණයකදී අනාවරණය වී ඇත්තේ දින 7ක් තුළ පාරිභෝගිකයන්ට සපයන ලද ආහාරවලින් 21%ක්ම ඉවත දමන බවය. ඉන් 3%ක් පමණ අනුභවය සඳහා ලබාගෙන පිඟන්වල ඉතිරි කරන ලද ආහාර බවත්ය. අදාළ හෝටලයේ සමීක්‍ෂණ මාසය තුළ අනුභවයට සුදුසු ඉතිරිවූ ආහාර ටොන් 25ක් මනුෂ්‍ය පරිභෝජනයෙන් ඉවත දමා ඇති බවත්, බස්නාහිර පළාතේ එකතුවන අපද්‍රව්‍යවලින් භාගයක් පමණ කොළඹ නාගරික ප්‍රදේශයෙන් වන බව හිටපු ආහාර කොමසාරිස් සහ සාර්ක් ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ කමිටුවේ හිටපු සභාපති එන්. බී. ලියනආරච්චි කියයි.

ආහාර සුරක්‍ෂිතතාවය බිඳවැටීමේ ප්‍රතිඵල

මිනිස් පරිභෝජනට ගතහැකි ආහාර එසේ ඉවත දැමීම මෙරට ආහාර සුරක්‍ෂිතතාවය බිඳ වැටීමට ප්‍රධාන හේතුවකි. එමෙන්ම එය ආහාර සුරක්‍ෂිතතාව සහ අර්බුදකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වීමද බලවත් සමාජ හා ආර්ථික ගැටලුවක්ද වන්නේ ය. ආහාර අර්බුදයකදී එය පළමුව බලපානු ලබන්නේ කුඩා ළමුන්, ගර්භිණී මව්වරුන්, රෝගී පුද්ගලයින් සහ වැඩිහිටි ජනතාවටය. තවද ආහාර සහ පෝෂණය නොමැති වීමෙන් ළමුන්ගේ මානසික සහ ශාරීරික වර්ධනය අඩුවන අතර අනාගතයේදී ඔවුන් ද රටේ ආර්ථිකයට බරක් වන රෝගී පිරිසක් විය හැකිය. තවද නිසි පෝෂණීය ආහාර නොලැබීම හේතුවෙන් ඇතිවන විටමින් ඌනතාවය මගින් අන්ධභාවය, හීන බුද්ධි වර්ධනය ආදී ජීවිත කාලය පුරා පවතින ආබාධයන්ට ගොදුරුවීමේ ප්‍රවණතාවයක්ද පවතී. එමෙන්ම ගර්භිණී මව්වරුන්ගේ පෝෂණය අඩුවීම හේතුවෙන් ගබ්සාවන් සිදුවීම, අඩුබර දරු උපත්, මළ දරු උපත් සහ අඩු බර රෝගී දරුවන් බිහිකිරීම වර්ධනය වන්නේ ය. මෙරට වයස අවුරුදු 15-49 අතර කාන්තාවන්ගේ 34.6%ක් ලේ හිඟකමින් පෙළේ. එයට හේතුව නිසි ආහාර නොලැබීමය. 2019 සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ලංකාවේ අඩුබර ළමා උපත් 16%ක්ද, වයසට ගැළපෙන බර නොමැති සංඛ්‍යාව 20.5%ක් ලෙසද, ශරීර ක්‍ෂයවීම 15.1%ක් ලෙසද, වයසට ගැළපෙන උස නොමැතිවීම 17.3%ක් ලෙසද වාර්තා කර තිබුණි.

තවද 2024 ජාතික පෝෂණ මාසයේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ ප්‍රතිශතය 17.1%ක් ලෙස වාර්තා වී ඇත. ඒ අනුවද වැඩිම අඩු බර ප්‍රතිශතය වාර්තා වූයේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ය. 2023 වසරේදී 26.4% සිට 2024දී 25.6% දක්වා සුළු වශයෙන් අඩුවීමක් දක්නට ලැබුණ ද රටෙහි පවතින ආර්ථික තත්ත්වයන් සමග එම තත්ත්වය වැඩිවිය හැකි බැවින් ඉදිරියේදී ජාතික වශයෙන් නිසි ක්‍රියාමාර්ග හා වැඩපිළිවෙළක් සැකසිය යුතුය.

ආහාර අනාරක්‍ෂිතතාවය මෙරට ජනතාවගේ නීරෝගී පැවැත්මට බලවත් තර්ජනයකි. මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළම සෞඛ්‍ය සහ සමාජ දර්ශකයන්ගෙන් යුත් රටක් බව අප අමතක නොකළ යුතුය. එහෙත් ලෝක බැංකුව ප්‍රකාශය කර ඇත්තේ 2023 වර්ෂයේ මෙරට දරිද්‍රතාව 25%ට වැඩිබවය. එසේ නම් මෙරට ජනතාවගේ ආහාර සුරක්‍ෂිතතාවය බිඳවැටීම සිදුවන්නේ රටෙහි ඇතිවන ආර්ථික අර්බුදයත් සමගමය.

කොරෝනා වසංගත තත්ත්වය අපේ රටේ ආහාර සුරක්‍ෂිතතාවය බිඳ වැටීම කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල විය. ඒ නිසා සමස්ත ආහාර සැපයුම් ජාලය බිඳ වැටෙන්නට විය. ඒ සමග ම රටෙහි උද්ධමනය ඉහළ යෑම, විදේශ විනිමය හිඟවීම නිසා මෙරට ආහාර අර්බුදයකට මුහුණපාන්නට සිදුවූ බව කවුරුත් දන්නා කතාවකි. අද වනවිට ද රටේ ආර්ථික තත්ත්වය යහපත් වී නැත. රටෙහි ජනතාවගෙන් වැඩිකොටසකට තම මූලික අවශ්‍යතාවයන් පවා සපුරාගත නොහැකිව බොහෝ අර්බුදයන්ට මුහුණපාන්නේ ය. හරියට කිවහොත් ජනතාවට හාල් ටික, පොල් ගෙඩිය ගැනීමට ද බොහෝ දුෂ්කරය. භාණ්ඩ මිල අසීමාන්තිකව ඉහළ යෑම හමුවේ දරිද්‍රතාවයෙන් මිරිකෙන ජනතාවටද ‘වැලේ වැල් නැති වන ගානටම’ රටේ ආර්ථිකය බලපා ඇත.

මොකක්ද මේ ආහාර සුරක්‍ෂිතතාවය

ආහාර සුරක්‍ෂිතතා- මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ හිටපු උපදේශක එන්. බී. ලියනආරච්චි

අදවනවිට විපක්‍ෂයේ ද ප්‍රධාන දේශපාලන සටන් පාඨය වන්නේ බඩු මිලය. පවතින අත්‍යවශ්‍ය ආහාර වර්ගවල හිඟයන් ගැනය. එහෙත් මෙම ප්‍රශ්නය දේශපාලන කෝණයෙන් බැලීම ද සාධාරණ නැත. එහෙත් මේ ප්‍රශ්නය පිළිබඳව අප කතාකරන්නේ සෑම පුද්ගලයෙකුටම සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට ගුණාත්මක ආහාර වේලක අවශ්‍යතාවය නිසාමය. එමෙන්ම පුද්ගලයකුට ආහාර ලබාගැනීමට ඇති අයිතිය කඩකළ නොහැකි මානව හිමිකමක් ලෙසද එම අයිතිවාසිකමට බාධා කිරීම සාපරාධී ක්‍රියාවක් ලෙසද හැඳින්විය හැකිය. 1996 ලෝක ආහාර සමුළුවේ අර්ථ දැක්වීමට අනුව ද ආහාර සුරක්‍ෂිතතාවය යනු “සෑම පුද්ගලයකුටම සැමවිටම තම ක්‍රියාකාරී ජීවිතය පවත්වාගෙන යෑම සඳහා සමබල, සෞඛ්‍යදායක සහ ගුණාත්මක ආහාර වේලක් ලබාදීමය.” ඒ අනුව රටක ජනගහනයට සරිලන ගුණාත්මක ආහාර නිෂ්පාදනය කිරීම හා ජනතාවට අඛණ්ඩව සාධාරණ මිලට ආහාර ලබාගැනීමට හැකිවීම මෙහි මූලික කරුණු ලෙස පෙන්වාදිය හැකිය.

පවතින ආර්ථිකය ආහාර සැපයුමට බාධාවක්

රටක ආහාර සුරක්‍ෂිතතාව හොඳින් පැවැතීමට නම් එරට ආහාර සැපයුම් දාමය ආරම්භයේ සිට එම ආහාර පාරිභෝගිකයා අතට පත්වන තෙක්ම අඛණ්ඩව ක්‍රියාත්මක වියයුතුය. ඒ අනුව ප්‍රමාණවත් තරම් හිඟයකින් තොරව මෙරට ආහාර තිබිය යුතුය. අනෙක් කාරණාව වන්නේ රටේ පාරිභෝගිකයාට පහසුවෙන් එම ආහාර මිලදී ගැනීමේ හැකියාව පැවැතීමය. එම කරුණු හැරුණු කොට ආහාරවල ගුණාත්මක භාවය හා අඛණ්ඩව ස්ථාවර ආහාර සැපයුම් දාමයක් පැවැතීම ආහාර සුරක්‍ෂිතභාවය ලෙසද පෙන්වා දියහැකිය. ඒ අනුව රටපුරාම නිරතුරුව ආහාර සැපයුම් තත්ත්වය පවත්වා ගැනීමේදී රටෙහි සෑම ප්‍රදේශයකම ආහාර ඉල්ලුමේ අවශ්‍යතාවය රජය මගින් සපුරාලිය යුතුය. එය දේශීය නිෂ්පාදන මගින් හෝ ආනයනික භාණ්ඩ මගින් රටෙහි භාණ්ඩ අවශ්‍යතාවය හිඟයකින් තොරව අඛණ්ඩව පවත්වාගත යුතුය. තවද මෙරට අඩුආදායම්ලාභීන්ට වුවද තම ආහාර මිලදී ගැනීමට හැකිවන පරිදි ඒවායේ මිල ගණන් පවත්වාගත යුතුය. එහෙත් අද වනවිට වෙළෙඳපොළේ පවතින ආහාර මිල ගණන් අනුව පෙනී යන්නේ මෙකී ක්‍රමවේදයන්ට පිටින් සියල්ලම සිදුවන්නක් බවය. එයට හොඳම උදාහරණය හාල් පොල් ප්‍රශ්නයයි. මෙරට දෛනික පරිභෝජනය කටයුතු සඳහා වර්ෂයකට සහල් මෙටි්‍රක්ටොන් ලක්‍ෂ 24ක් පමණ අවශ්‍යය. එහෙත් අදවනවිට මෙරට ජනතාවට අවශ්‍ය ප්‍රමාණවත් සහල් තොග වෙළෙඳපොළෙහිද නැත. රටින් ආනයනය කොට වෙළෙඳපොළට සහල් නිකුත් කළද පවතින සහල් හිඟය තවමත් සාමාන්‍ය තත්ත්වයට පත්වී නැති ගානය. තවද ඉතා කෙටි කලක් තුළදී සහල් මිල අධික ලෙස ඉහළ යෑමත් පවතින සහල් හිඟයත් මෙරට ආහාර සුරක්‍ෂිතතාවයට ඍජුවම බලපාන්නකි. පොල් මිලද එසේමය. රුපියල් හැට හැත්තෑවට තිබූ පොල් මිල රුපියල් දෙසිය පනහට තුන්සියයට යනවිට ආහාර සුරක්‍ෂිතතාවය ගැන නම් කවර කතාද යැයි හැඟෙන්නේ ය.

ආහාර අපතේ යන්නේ නොසැලකිලිමත්කමින්ද

මේ පිළිබඳව හිටපු ආහාර කොමසාරිස් සහ සාර්ක් ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ කමිටුවේ හිටපු සභාපති එන්. බී. ලියනආරච්චි මහතා කියන්නේ මෙවැනි කතාවකි.

“ආහාර අපතේ යෑම හා විනාශවීම වැඩිවශයෙන්ම මිනිස් නොසැලකිලිමත්කම සහ අවිධිමත් ක්‍රියාකාරකම් නිසා සිදුවන්නක්. ආහාර අපතේ දැමීම හා විනාශවීම එක රටකට පමණක් සීමාවූවක් නොවේ. ගෝලීය වශයෙන් සලකා බැලීමේදී පොදුවේ ගොවිපොළේ සිට වෙළෙඳපොළ දක්වා 14%ක් ආහාර ද්‍රව්‍ය අපතේ යන අතර වෙළෙඳපොළේ සිට පරිභෝජනය දක්වා 17%ක් විනාශ වනබව ලෝක ආහාර සංවිධානය වාර්තා කර තිබෙනවා. මේ අනුව ලෝක ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක් වාර්ෂිකව ආහාර අපතේ හැරීම හා විනාශයට පත්වෙනවා. දැනට ලොව ජනගහනයෙන් මිලියන 800කට ආසන්න ප්‍රමාණයක ජනතාව සාගින්නෙන් පෙළෙන බවට වාර්තා වී ඇති අවස්ථාවක මෙවැනි ආහාර අපතේ හැරීම හා විනාශ වීමට ඉඩ හැරීම සුළුකොට තැකිය නොහැකියි.”

හිටපු කොමසාරිස්වරයා වැඩිදුරටත් කියන්නේ බස්නාහිර පළාතේ එකතුවන අපද්‍රව්‍යවලින් භාගයක් පමණ කොළඹ නාගරික ප්‍රදේශයෙන් වන බවය. තවද ලෝක ආහාර සංවිධානය සහ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය විසින් කොළඹ නගරයේ තරු හෝටලයක කළ සමීක්‍ෂණයකදී අනාවරණය වී ඇත්තේ දින 7ක් තුළ පාරිභෝගිකයන්ට සපයන ලද ආහාර වලින් 21%ක්ම ඉවත දමන බවය. ඉන් 3% ක් පමණ අනුභවය සඳහා ලබාගෙන පිඟන්වල ඉතිරි කරන ලද ආහාර බවත් හෝටලයේ අදාළ සමීක්‍ෂණ මාසය තුළදී අනුභවයට සුදුසු ඉතිරිවූ ආහාර ටොන් 25ක් මනුෂ්‍ය පරිභෝජනයෙන් ඉවත දමා ඇති බවද ඔහු කියයි.

“මෙම තත්ත්වය හෝටල්, කැන්ටින් සහ පිසූ ආහාර අලෙවි කරනු ලබන සෑම ස්ථානයකටම පොදු කරුණක්. ආහාර අපතේ හැරීම හා විනාශ වීමේදී ගෘහස්ථවද බොහෝ සිදුවන්නක්. ලංකාවේ ඝන අපද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් ආහාර අපද්‍රව්‍ය වීම මගින් පෙන්නුම් කරන්නේ අනවබෝධය හා නොසැලකිලිමත්කමයි. ලෝක ආහාර සංවිධානයේ 2024 වර්ෂයේ ගෘහස්ථ ආහාර අපතය සහ විනාශවීමේ දර්ශකය අනුව ලංකාවේ සෑම ගෘහස්ථයක් විසින් වසරකට ආහාර කිලෝග්‍රෑම් 118ක් ඉවත දැමීම සිදුකරනු ලබන බව වාර්තා වෙනවා. ගෘහස්ථව අපද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් අක්‍රමවත් ලෙස අපහරණ කරන අතර නගරාශ්‍රිතව ඇති ඝන අපද්‍රව්‍ය කඳුවලින් එය පැහැදිලිව බලාගන්න පුළුවන්. මීතොටමුල්ල ඛේදවාචකය මෙහි භයානකම සිදුවීමක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අක්‍රමවත් අපද්‍රව්‍ය අපහරණයේ සිදුවන විනාශය ආහාර අපතයට පමණක් සීමා වන්නේ නැහැ. එමගින් ආහාර නිෂ්පාදනය සඳහා යෙදවූ සම්පත් අපතේ යෑම වගේම එකතුවන අපද්‍රව්‍යයන්හි ජීව ක්‍රියාකාරීත්වය නිසා පස අපවිත්‍ර වීම, හරිතාගාර විෂ වායු විමෝචනය, රෝග කාරක වර්ධනය, පරිසර විනාශ සහ සෞඛ්‍ය තත්ත්වයට වන බලපෑමද තිබෙනවා.”

විගණනයෙන් හෙළිවන ආහාර අපතේ හැරීම

ජාතික විගණන කාර්යාල සමීක්‍ෂණ වාර්තාවකට අනුව ලංකාවේ වසරකට බිලියන 20ක් පමණ වටිනා එළවලු සහ පලතුරු අපතේ යන බවට වාර්තා කර ඇති බවට හිටපු ආහාර කොමසාරිස්වරයා කියයි. ඔහු ඒ ගැන කියන්නේ ලොව ආහාර අර්බුදයක් උද්ගතව තිබියදීත් මෙවැනි ආහාර අපතේ හැරීම රටෙහි ආර්ථිකයටද විශාල බලපෑමක් එල්ල කරන බවය.

“ජාතික විගණන කාර්යාල සමීක්‍ෂණ වාර්තාවකට අනුව ලංකාවේ වසරකට බිලියන 20ක් පමණ වටිනා එළවලු සහ පලතුරු අපතේ යන බව වාර්තාකර තිබෙනවා. ලෝක ආහාර සංවිධානයේ 2022 අගෝස්තු 5 දින නිකුත් කළ වාර්තාවලට අනුව ගෘහස්ථයන් 10කින් 3ක ජනතාව ආහාර අනාරක්‍ෂිතතාවයට මුහුණදෙන බව සඳහන් වෙනවා. එය සංඛ්‍යාත්මකව වශයෙන් මිලියන 6.3ක්. මිලියන 6.7ක පිරිසක් ශරීර වර්ධනයට අවශ්‍ය පෝෂණීය ආහාර ගන්නේ නැහැ. ලෝක ආහාර සංවිධානය විසින් දැනටමත් ලංකාවේ මිලියන 3.4ක ජනතාවට ආහාර ආධාර ලබාදීමට ප්‍රමුඛත්වයක් ලබාදී තිබෙනවා.”

වර්තමානය වනවිට ආහාර සුරක්‍ෂිතතාවය පිළිබඳව උග්‍ර අර්බුදකාරී තත්ත්වයකට රට මුහුණදෙමින් සිටින සිටින බවද ඔහු පෙන්වා දෙයි. එබැවින් ඉදිරියේදී මෙරට ආහාර සැපයුම් තත්ත්වය ප්‍රමාණවත් පරිදි වර්ධනය කිරීමේ දේශීය ක්‍රියා මාර්ගයක් නොගතහොත් අනාගතයේදී දැඩි ආහාර අනාරක්‍ෂිතතාවයකට ශ්‍රී ලාංකික ජනතාවට මුහුණුදීමට සිදුවීම නොවැළැක්විය හැකි කරුණක් බවද හිටපු කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ ය.

“කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් ඇති බහුවිධ අර්බුදකාරී තත්ත්වයන් අතර ප්‍රථමයෙන්ම ආහාර අර්බුදයට ඉක්මන් පිළියම් යෙදිය යුතුයි. එහිදී වඩාත් වැදගත් වන්නේ නිෂ්පාදනය කරනු ලබන ආහාර අපතේ නොයවා සහ විනාශයට පත්වීමට ඉඩ නොහැර ආරක්‍ෂිතව පරිභෝජනයට ගැනීමයි. ඒවගේම ලංකාවේ ආර්ථික මධ්‍යස්ථානවලින් ඉවතලන ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය ලංකාව වැනි ළමුන් මන්දපෝෂණයෙන් පෙළෙන ආහාර අනාරක්‍ෂිත රටකට දරන්න බැහැ. 2019 වර්ෂයේ ප්‍රකාශයට පත්කළ ජාතික ආහාර අපතය සහ විනාශය වැළැක්වීමේ පනතක් තිබුණත් ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයේ සිට අස්වනු නෙළීම, පිරිසිදු කිරීම, සැකසීම, තොග වෙළෙඳපොළට ප්‍රවාහනය සහ ගෘහස්ථ පරිභෝජනය දක්වා වන ක්‍රියාදාමය තුළදී අවිධිමත් පරිහරණය හේතුවෙන් ආහාර විනාශ වෙනවා. මෙම අපතේයෑම හා විනාශවන්නේ එළවළු පලතුරු ආදිය පමණක් නොවේ. ධාන්‍ය, මස්, මාළු ආදී මනුෂ්‍ය පරිභෝජනයට ගනු ලබන වෙනත් සියලු ආහාර වර්ග අපතේ යෑම සහ විනාශවන බවත් සමීක්‍ෂණවලින් වාර්තා කර තිබෙනවා.”

ශ්‍රී ලංකාවද ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව උග්‍ර අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බව ඔහුගේ කතාවෙන් පැහැදිලිය. ආහාර අපතේ යෑම හා විනාශවීම පාරිසරික ගැටලුවක් මෙන්ම සමාජීය ගැටලුවකි. මිලියන ගණනක් ජනතාව ආහාර හිඟකමින් පෙළෙද්දී නිෂ්පාදනයෙන් තුනෙන් කොටසක් විනාශවීම වළකා ගතයුතුවීම ජාතික අවශ්‍යතාවයක් බවද ඔහු පෙන්වා දෙයි. එහිදී ගතයුතු ක්‍රියාමාර්ග ලෙස හිටපු කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ ආහාර අපතය සහ විනාශවීම වැළැක්වීමට සියලුදෙනා දැනුවත් කිරීමට කටයුතු කිරීම හා විශාල ලෙස ආහාර සපයන හෝටල්, ආපනශාලා වැනි ස්ථානවලින් ඉවත්කරන එහෙත් පරිභෝජනයට සුදුසු ආහාර අවශ්‍යතා ඇති අයට ලබාදීම යන ක්‍රමවේදයන්ය. තවද ඉවතලන ආහාර සත්ව ආහාර සඳහා අලෙවි කිරීම, ජීව වායු නිෂ්පාදනය, සහ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය වැනි ක්‍රියා මගින් විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කළහැකි අතර පරිසරයට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩුවන බවද ඔහු පෙන්වා දෙයි. එබැවින් ගුණාත්මක සහ සෞඛ්‍යදායක ආහාර සැපයුම් ජාලයක් මෙරට පවත්වා ගැනීමටනම් ආහාර සුරක්‍ෂිතතාවයේ මූලික කරුණු නිවැරදිව අඛණ්ඩව පවත්වාගත යුතු අතර නුදුරු අනාගතයේ මුහුණපෑමට නියමිත ආහාර හිඟය කළමනාකරණය කර ගැනීමට රටක් හැටියට අප ක්‍රියාකළ යුතුමය.

රමින්ද මාවතගේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *