BREAKING NEWS
Search

රැහැන් එළමින් සිටියදී විදුලි බල මණ්ඩලයේ සේවකයෝ තිදෙනෙක්ට අත් වූ සෝචනීය ඉරණම

38

අලුත් විදුලි රැහැන් පද්ධතියක් ඇදීමට විදුලි කණුවක් මත විදුලි බල මණ්ඩලයේ සේවකයින් තිදෙනකු නැග වැඩකරද්දී එම කණුව හදිසියේ කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර සිටි විදුලි බල මණ්ඩලයේ සේවකයකු ඊයේ (28) මරුමුවට පත්ව තිබේ.

බාල විදුලි කණුවක් නිසා එය කඩා වැටුණු බව සැක මතුව ඇතැයි විදුලි බල මණ්ඩලයේ රතනපුර සේවකයෝ පවසති. කණුව කඩා වැටීම ගැන විදුලි බල මණ්ඩලය පරීක්ෂණයක් පවත්වයි. අනතුර සිදුවී දින දෙකක් ගත වන විට එම විදුලි කණුව තිබුණු ස්ථානයෙන් ඉවත් කර ඇති අතර ප්‍රමිතියෙන් තොර බාල කණු සවි කිරීමට අනුමැතිය දුන්නේද යන්න ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස විදුලි බල මණ්ඩලයේ සේවකයින් ඉල්ලීම් කර තිබේ. දෙකට කැඩුණු විදුලි කණුව එම ස්ථානයෙන් හදිසියේ ඉවත් කිරීම ගැන ඇඹිලිපිටිය මූලික රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී ද විමසා තිබේ.

පසුගිය 25 වැනිදා පස්වරුවේදී සෙවනගල ජාතික පාසල ආසන්නයේදී නව විදුලි පද්ධතියක රැහැන් එළමින් සිටි විදුලි බල මණ්ඩලයේ සේවකයින් තිදෙනකු මෙම අනතුරට ලක්ව රෝහල් ගතකර තිබුණි. බරපතල තුවාල ලබා සෙවනගල රෝහලට ඇතුළත් කරන ලද දෙදෙනා වැඩිදුර ප්‍රථිකාර සඳහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරුකර යවා තිබුණු බව සෙවනගල පොලිසිය පවසයි. ඉන් එක් අයක් මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. මිය ගොස් ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ සබරගමු බෙදාහැරීම් නඩත්තු රත්නපුර තුන්වන කණ්ඩායමේ එස්.වී. ජනක ප්‍රියන්ත (45) මහතායි. ඔහු රත්නපුර, පතුල්පාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙදරු පියෙකි.

මෙම විදුලි කණුව කඩා වැටුණේ කණුවල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නිසා දැයි සොයා බලන ලෙස විදුලි බල මණ්ඩලයේ සේවකයින් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. සෙවනගල ප්‍රදේශවාසීන් පිරිසක්ද සඳහන් කරන්නේ විදුලි කණුවක් දෙකඩ වීමට හේතුව ප්‍රමිතියේ ගැටලුවක් දැයි සොයා බලන ලෙසයි. විදුලි රැහැන් තද කිරීමට පෙර කණුව කඩා වැටී ඇතැයි විදුලි බල මණ්ඩලයේ නිලධාරියකු පැවසීය. මිය ගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඇඹිලිපිටිය මූලික රෝහලේ දී ඊයේ පැවත්විණ.

කහවත්ත – සමරවීර නිරෝෂණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *