BREAKING NEWS
Search

පුතා බේරගන්න ගිය පියා ඝාතනය කල සිද්ධියට සැක පවුල් දෙකක් ගැන ඇහෙන අලුත්ම කතාව

615

තම පුත්‍රයා පැහැරගෙන යද්දී ඔහු බේරා ගැනීමට ඉදිරිපත්වූ ඇහැලියගොඩ ප්‍රදේශයේ 65 හැවිරිදි පියකු ජීප් රථයට යටකර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින එම ප්‍රදේශයේම පදිංචි පවුල් දෙකක සාමාජිකයන් ගම්බිම් අතහැර පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්වූ පියාගේ පවුලේ සාමාජිකයන් සහ ගම රට අත හැර පලාගොස් ඇති පවුල් දෙකේ සාමාජිකයන් අතර කාලයක පටන් පැවති ආරවුලක් මෙම සිද්ධියට හේතු වී ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.

හැටපස් හැවිරිදි පියා ජීප් රථයට යට කර ඝාතනය කර පලාගිය සංවිධානාත්මක කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා රත්නපුර කොට්ඨාස අපරාධ අංශය සහ ඇහැලියගොඩ පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ සංවිධානාත්මක කණ්ඩායම පිළිබඳ සියලු තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක කර තිබේ.

පසුගිය 20 වැනිදා අලුයම ඇහැලියගොඩ පින්නවල ප්‍රදේශයේ නිවසට පොලිසියෙන් යැයි කියමින් කඩාවැදුණු සන්නද්ධ පිරිසක් එහි සිටි පුත්‍රයකුට පහර දී මාංචු දමා ඔහු ජීප් රථයෙන් පැහැරගෙන ගොස් තිබේ.

තම පුත්‍රයා පැහැරගෙන යෑම වැළැක්වීමට උත්සාහ කළ 65 හැවිරිදි පියා ජීප් රථයට යට කර ඔහු ඝාතනය කිරීමට සන්නද්ධ පිරිස කටයුතු කර තිබිණි.

පුත්‍රයා පැහැරගෙන ගොස් මහ මඟ දණ ගස්සවා දෑත්වලට මාංචු දමා ඔහුට ඇසිඩ් ප්‍රහාරයක් ද එල්ල කළ සන්නද්ධ පිරිස පලා ගොස් ඇත.

අනියම් සම්බන්ධයක් මුල් කරගෙන නාවිමන ප්‍රදේශයේ මෙම පවුල් දෙක අතර කාලයක පටන් ආරවුලක් තිබූ බව පොලිසිය පවසයි.

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු




Leave a Reply

Your email address will not be published. Required fields are marked *