BREAKING NEWS
Search

සමාජමාධ්‍ය කැළඹූ, අධිවේගයේ 15 හැවිරිදි පුතු අතට වාහනය පැදවීමට දුන් ලෝයර් තාත්තට වෙච්ච දේ

406
මාර්ග නීතී හොඳින්ම දන්නා කෙනෙක් මේ වගේ වැඩක් කළා කියන එක නම් ඇත්තටම විශ්වාස කරන්නත් අමාරු දෙයක්..

ඒත් මේ වගේ අපරික්ෂාකාරී රිය ධාවන ගැන අහන්න ලැබෙන කතාව නිසා ඔවුන්ට සිදුවුණු දේ ගැනයි මේ කතාව.. දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සිය සුඛෝපභෝගී මෝටර් රථය 15 හැවිරිදි පුතුට පැදවීමට ඉඩ ලබාදුන් නීතිඥවරයා සහ දරුවා පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙදෙනාටම රුපියල් 55,000ක දඩ මුදලක් නියම කළේ දැඩි අවවාද සමඟයි.. ඒ ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ විසින්..

මෙලෙස දඩ නියම වූයේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි නීතිඥවරයෙකුට සහ ඔහුගේ පුතුටයි..

ඉකුත් 24 වැනිදා නීතිඥවරයා සිය පවුලේ සාමාජිකයන් සමඟ තංගල්ල ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් පසුදින යළි මත්තල සිට කටුනායක දෙසට මෝටර් රථය පැද යෑමේදී මෝටර් රථය 15 හැවිරිදි පුතු වෙත ලබා දී ඔහු එය පදවාගෙන යමින් සිටියදී වෙනත් වාහනයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකු එය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා..

මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම රථවාහන පොලිසියේ නිලධාරීන් මෝටර් රථයේ ලියාපදිංචිය අංකය ඔස්සේ සිදු කළ විමර්ශනවලදී අදාළ මෝටර් රථයේ හිමිකරු පුත්තලම ප්‍රදේශයේ අයෙකු බවට හඳුනාගෙන කරන ලද දැනුම් දීමකින් අනතුරුව ඔහු පොලිසිය වෙත ගෙන්වා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා..

මෝටර් රථයේ ලියාපදිංචි අයිතිකරු වන නීතිඥවරයා රියැදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනයට ඉඩදීම යන චෝදනාවට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 25,000ක දඩ මුදලක් සහ වයස අවුරුදු 17ට අඩු අයකු රිය පැදවීම හා ආසන පටි නොපැලැඳ රිය ධාවනය කිරීම යන චෝදනා යටතේ නීතිඥවරයාගේ පුතුට රුපියල් 30,000 ක දඩ මුදලක් නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබුණා..

අධිවේගී රථවාහන පොලිසියේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුරා පෙරේරා සහකාර පොලිස් අධිකාරී වසන්ත කෝරලගේ, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරුද්ධ චන්ද්‍රසේකර යන අයගේ උපදෙස් මත ගැලනිගම රථවාහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ. කරුණාරත්න පොලිස් පරීක්ෂක කේ.එම්.සි. කුමාරසිංහ පොලිස් සැරයන් 33407 චන්දන යන අය මීට අදාල පරීක්ෂණ පැවැත්වූවා..

දිනමිණ ඇසුරෙන්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *