ලොව කීර්තිමත්ම පුද්ගලයන්ට පිරිනැමෙන ‘පාර්ඩෝ ඇලා කැරියරා (Pardo alla Carriera) සම්මානයෙන් පසුගියදා ආසියාවේ කීර්තිමත්ම එක් මිනිසකු පිදුම් ලැබුවේය. ඒ කීර්තිමත් මිනිසා අන් කවරකු හෝ නොව ඛාන්ලා අතර මහා රජ වූ ෂාරුක් ඛාන්ය. තවත් විදියකට කියනවා නම් බොලිවුඩයේ නොබැස යන රිදී තාරකාව කිං ඛාන්ය. (Sri Lanka Latest News)
ෂාරුක්ට මෙම සම්මානය ලැබුණේ මෙවර ස්විට්සර්ලන්තයේ ලෝකාර්නේ චිත්රපට උළෙලේදීය. කෙස් වැටිය මඳක් දික්කර වවාගෙන තිබූ ෂාරුක් වෙනදාක මෙන් එය පෝනි ටේලයක් ලෙස ගැටනොගසා නිදහසේ විසුරුවා දමමින් ජැන්ඩි පහට ඇඳ සම්මාන උළෙලට සහභාගිව සිටියේ අභිමානයෙනි. සම්මානය සියතට ගෙන ඉහළ අහස් තලය දෙස බලා දෙවියන්ට ස්තුති කළ ඔහු තද කළු පැහැති සම්මානය මුවට තබා සිපගනිද්දී රැස්ව සිටින ප්රභූ පන්නයේ උදවිය තද අත්පොළසන් නාදයක් එක දිගට ආසියාවේ කීර්තිමත් මිනිසා වෙනුවෙන් තිළිණ දුන්හ. එයිටත් වැඩිය වැඩි ප්රශංසාවක් ෂාරුක්ට ලැබුණේ සම්මානය ගැනීමෙන් අනතුරුව ඔහු කළ කතාබහේදීය.
ඔහුගේ ප්රතිභාමත් රංගන කලාවට අමතරව කීර්තිමත් පෞරුෂය වෙනුවෙන් තිළිණ වූ මෙම සම්මානය හේතුකොට ගෙන අදහස් දක්වන විරාමයේදී ඔහු කළ කතාවන්ද අතිශයින්ම කීර්තිමත්ව තිබිණි.
ෂාරුක් ඔහුගේ කීර්තිමත් පවුල් ජීවිතය ගැන කතා කළේ අභිමානයෙනි. ඉන්දියාවේ කිං ඛාන් වුවද ආසියාවේ එක් කීර්තිමත් මිනිසකු ලෙස සම්මාන ලැබුවද තම පවුල තුළ තම ගෘහය තුළදී තමන් සාර්ථක ස්වාමියකු සහ සාර්ථක පියකු පමණක් බව ඔහු කියන විට ෂාරුක්ගේ දෙනෙතට කඳුළු ඉනුවේය.
‘මම මගේ දරුවන්ට කියනවා හැම මොහොතකදීම නුඹලා කිං ඛාන්ගේ දූපුතුන් බව අවට සමාජයට හැඟවෙන පරිදි ඇසිරෙන්න එපා, නුඹලා උතුරු ඉන්දියාවේ වසන සාමාන්ය දරුවන් ලෙස පාසලේදී සහ වෙනත් ඕනෑම තැනකදී හැසිරීම මගේ එකම සතුටයි…’
ෂාරුක් ඒ ආකාරයට පවසා තමාව නරඹන සුවහසක් පිරිස දෙස බලා සුපුරුදු ආකර්ෂණීය සිනාව පෑවේ ඉතා සිත්කලුවටය. ඔහු වෙනුවෙන් දෙවැනි අත්පොළසන් නාදය පැතිර ගියේය.
‘ඛාන් මැඳුර තුළ මා ගෙවන ජීවිතය බොහෝ සරලයි. මගේ බිරිය ගෞරී මගේ දරුවන් ආර්යන් සුහානා, ඒබ්රහම් යන අපි අපේ අදහස් දුකසැප බෙදාහදා ගන්නේ රාත්රී කෑම මේසය සමගයි. බොහෝ පවුල්වලින් නවීන සමාජය හමුවේ අවුල්ව ගිය රාත්රී කෑම මේස සංකල්පය ඛාන් මැඳුර තුළ තවමත් පැවතීම මට ඇති ඉමහත් සතුටයි. ආනන්දයයි.’
ඒ විස්තරය ෂාරුක් නිම කළේ සෙනෙහසින් පිරි සුළං හාදු වරුසාවක් රැස්ව සිටින අමුත්තන් වෙත පාකරමින්ය.
‘සහතික වශයෙන්ම ඔබ ආසියාවේ කීර්තිමත්ම මිනිසුන් අතර කීර්තිමත්ම පුද්ගලයෙකි…’
සම්මාන උළෙල මෙහෙයවූ සුවිශේෂ නිවේදකයා එලෙස පවසද්දී ෂාරුක් තම දකුණත ළය මත තබා හිස මඳක් පහත් කොට සිය ආචාරය තිළිණ දුන්නේ සිනා පිරි මුවිනි. තෙවැනි අත්පොළසන් හඬද ඔහු වෙනුවෙන් දසත පැතිර ගියේ ලෝකාර්නෝ චිත්රපට උළෙල මේ අසිරිමත් මිනිසාගේ ආලිංගනයෙන් අමන්දානන්දනීය වෙමින් තිබියදීය.
දමයන්ති රේණුකා ප්රනාන්දු

















