දෙමටගොඩ දුම්රිය අංගනයෙන් අතුරුදන්ව සිටි දුම්රිය තාක්ෂණ ශිල්පියාගේ මළසිරුර ඊයේ (06 වැනිදා) පස්වරුවේ අනාරක්ෂිත ළිඳක තිබී සොයා ගත් බව දෙමටගොඩ පොලිසියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.
එම අංගනයේ සේවය කරමින් සිටි මෙම සේවකයා ඊයේ (06 වැනිදා) අලුයම 1.30 සිට අතුරුදන්ව ඇති බවට එහි සේවකයින් පිරිසක් පැමිණිලි කළ බවත්, ඒ අනුව විමර්ශන සිදුකරමින් සිටියදී මෙම සේවකයාගේ සිරුර හමු වූ බවත් හෙතෙම කීය.
මෙලෙස මියගොස් ඇත්තේ මාතර, වැලිගම පදිංචිව සිටි සුජීව කුමාර නමැති 47 හැවිරිදි විවාහකයෙකි. රාජකාරි කටයුතු කරමින් සිට ඇති මෙම සේවකයාගේ අතුරුදන්වීමත් සමග සහෝදර සේවකයින් ඔහු ගැන දුම්රිය අංගන පරිශ්‍රයේ සොයන්නට පටන්ගෙන තිබේ. ඒ අනුව ඔහුගේ බවට සැක කෙරෙන මුදල් පසුම්බියක්, ජංගම දුරකථනයක් සහ පාවහන් යුගලක් දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ළිඳක් ආසන්නයේ තිබී හමුවී තිබිණි.
ඒ අනුව ඔවුන් මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය දැනුවත් කළ අතර, පොලිසිය නාවික පොලිස් කොට්ඨාස කිමිදුම්කරුවන්ගේ සහායෙන් ඊයේ අලුයම එම ළිඳ පරීක්ෂා කිරීම් කළත් ඔහු සොයා ගැනීමට නොහැකි වී ඇත.
එවැනි පසුබිමක දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ කාර්මික ශිල්පියකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන් සහ පොලීසිය විමර්ශන නිසි අන්දමින් සිදුනොකළ බව පවසමින් ඊයේ (06 වැනිදා) දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් රැකියා කටයුතු සඳහා පැමිණි පිරිස් හා පාසල් සිසුන් දැඩි අපහසුතාවට පත්වූ අතර, ඔවුහු වර්ජකයින්ට දැඩි ලෙස අප්‍රසාදය පළ කරන්නට වූහ.
“මුන්ට ඕන ඕන වෙලාවට ස්ට්‍රයික් කරනවා. මේවා අසාධාරණයි. සේවකයෙක් අතුරුදන් වුණා කියලා මහජනතාවගෙන් පළි අරන් හරි යනවද….? මේවා කැත වැඩ. බලන්න මිනිස්සු කොච්චරක් අසරණ වෙලාද කියලා…” යැයි අපහසුතාවට පත් දුම්රිය මගීහු පවසන්නට වූහ.
පසුව දුම්රිය බලධාරීන්, පොලීසිය සහ වැඩ වර්ජනයේ නිරත දුම්රිය ධාවනාගාරයේ සේවකයින් අතර ඊයේ උදේ පැවැති සාකච්ඡාවකින් පසු ඔවුන් වැඩ වර්ජනය නතර කර දැමීය.
පැය 7 කට අධික කාලයක් වැඩ වර්ජනය පැවැති අතර, දුම්රිය සේවකයින් රාජකාරී කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල විය.
වර්ජනය හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රියන් රැසක් ප්‍රමාද විය. මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවට පත්වූහ. විදේශිකයෝ ද ඒ අතර වූහ.
දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ මේ හේතුවෙන් උදෑසන කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ පොඩි මැණිකේ දුම්රිය සහ බදුල්ල ඔඩිසි යන දුම්රියන් ධාවනය කිරීමට නොහැකි වූ බවය.
පවතින තත්ත්වය හමුවේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදු වූ බව ද හෙතෙම කීය.
මෙම සිද්ධිය ගැන අදහස් දැක්වූ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා මෙසේ කීය.
“මේ සේවකයා රාජකාරි කටයුතු කරමින් ඉන්න අවස්ථාවකයි අතුරුදන් වෙලා තිබුණේ. මේ පුද්ගලයාට මොකද වුණේ කියලා හරියට දන්නෙ නැහැ. මේ සිද්ධිය ගැන දුම්රිය බලධාරීන්ට, දෙමටගොඩ පොලිසියට කිව්වාම කව්රුවත් ඒ තරම් ගණන් ගත්තෙ නැහැ. මේ නිසයි වැඩ වර්ජනයකට කට්ටිය ගියේ. පස්සේ දුම්රිය බලධාරීන්, පොලිසිය අපි සියලුදෙනාවම සාකච්ඡාවකට කැඳෙව්වා. එහිදී ඒ අය පොරොන්දු වුණා සාධාරණ විමර්ශනයක් කරනවා කියලා. කොහොම හරි දැන් මියගිය අපේ සහෝදර සේවකයාගේ මළ සිරුර දුම්රිය ධාවනාගාරයේ ළිඳක උඩට ඇවිත් තියෙද්දි හමුවෙලා තියෙනවා. මෙයා තාක්ෂණ ශිල්පියෙක්. මෙයා ළිඳට වැටුණද? මොකක් වුණාද කියල දන්නෙ නැහැ. මේ මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් සිදුකරන්න.”
අප මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිතනන්ද මහතාගෙන් විමසූ විට මෙසේ පැවැසීය.
“මේ දුම්රිය සේවකයා අතුරුදන් වීම ගැන පොලීසියට පැමිණිල්ල ලැබුණු වෙලාවෙ ඉඳන් විමර්ශන කටයුතු අඛණ්ඩවම සිදු කළා. පොලිසිය, පොලිස් නාවික කොට්ඨාසය, අපරාධ පරීක්ෂණාගාරය (සොකෝ) නාවික හමුදාව එක්ව විමර්ශන සිදුකළා.
දුම්රිය අංගනයේ තියෙන විශාල ළිං දෙකත් පරීක්ෂා කළා. ඒ එක ළිඳක් අසල සෙරෙප්පු දෙකක්, මුදල් පසුම්බියක්, ජංගම දුරකථනයක් තිබිලා හමුවුණා. නාවික හමුදා කිමිදුම්කරුවන් අර ළිංවලට බැහැලත් බැලුවා. ඒවා කාලයකින් සුද්ද කරලත් නැහැ. නමුත් හමුවුණේ නැහැ. තව නිල සුනඛයින් ද යොදවා හොයා බැලුවා. මේ අතරේ තමයි අපිට මේ ළිඳක උඩට ගොඩගහලා තිබ්බ සේවකයාගේ මළ සිරුර හමුවුණේ. මහෙස්ත්‍රාත්තුමා ආවට පස්සෙ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කරන්න සූදානමින් ඉන්නෙ.
මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළාට පස්සෙ දැනගන්න පුළුවන්.”
මේ පිළිබඳව දෙමටගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා
දිවයින



















