මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා නිකුත් කිරීම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් හෙට (05) තීරණය කිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව එම අමාත්‍යංශය පෙන්වාදෙයි.
විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.
ඒ අනුව, අගෝස්තු මස 2 වැනිදා රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා නිකුත් කිරිමේ කටයුතු අත්හිටුවන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණි.
අදාළ වෙබ් අඩවිය තාවකාලිකව අත්හිටුවා ඇති අතර වීසා ලබාගැනීමට මුදල් ගෙවීම් සිදුකළ පුද්ගලයින්ට යළි අදාළ මුදල් ලබාදීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා මේ වනවිට ගුවන්තොටුපොළේ දී නිකුත් කෙරෙන ON ARRIVAL වීසා නිකුත් කිරීම පමණක් සිදුවන බව සඳහන්ය.




















