එම වෙඩි තැබීමෙන් මවක් සහ 17 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මිය ගිය අනෙක් පුද්ගලයා කරාඬුගල පොලිස් ස්ථානයේම සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්.
අම්පාර නාමල්ඔය ප්‍රදේශයේදී අද අළුයම මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
කරාඬුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු මෙම වෙඩි තැබීම කර ඇති අතර, ඔහු අද අළුයම රාජකාරී නිල ඇඳුමින් සිය රාජකාරී ගිනි අවිය ද රැගෙන තම පොලිස් ස්ථානයේම සේවය කරන තවත් පොලිස්කොස්තාපල්වරයෙකුගේ නිවසට ගොස් තිබෙනවා.
එම නිවසේ සිටි කොස්තාපල්වරයා නිවසින් පිටතට ගෙන්වාගෙන, මෙම පොලිස්නිලධාරියා ඔහුට වෙඩි තබා ඇති බව පොලිසිය සඳහන් කළා.
අදාළ කොස්තාපල්වරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගොස්ඇත්තේ කළ 33 හැවිරිදි එක්දරු පියෙක්.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
පොලිස් කොස්තාපල්වරයා ඝාතනය කිරීමෙන් පසු, මෙම නිලධාරියා ගිනි අවියද රැගෙන සිය නිවසට යාබද නිවසකට පැමිණ එම නිවසේ ජීවත් වූ මවකට සහ දියණියටකද වෙඩි තබා තිබෙනවා.
උසස් පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසුවේ, කලක පටන් පැවැති ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම මවට සහ දියණියට මෙම නිලධාරියා වෙඩි තබා ඇති බවයි.
අදාළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉඟිනියාගල හදබිම ගම්මානයේ පදිංචි 54 හැවිරිදි මවක සහ 17 හැවිරිදි ඇගේ දියණියයි.
මෙම නිලධාරියා වෙඩි තැබීමට පෙර දින රාත්‍රියේ සිය බිරිඳට දුරකථන ඇමතුමක්ලබා දී පවසා ඇත්තේ දරුවන් සමග ප්‍රවේසමෙන් සිටින ලෙසටයි.




















