අතුරුගිරියේ දී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවන එම ටැටූ ආයතනයේ හිමිකරු මාධ්‍යට නිරාවරණය කරමින් සිදුකළ ඔහුගේ පාපොච්චාරණය සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශයක් කර තිබෙනවා.
ඒ, කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවෙන් පසු මාධ්‍යට වෙත අදහස් දක්වමින්.
එහිදී ඔහු සඳහන් කළේ සැකකරුවෙක් මාධ්‍යට මුදාහරිමින් පාපොච්චාරණයක් ලබා ගැනීමට කිසිවෙකුටත් බලයක් නොමැති බවයි.
වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥවරයා මෙසේද සඳහන් කළේ.
”මෙම නඩුවේ පළවෙනි සැකකරුවන දුලාන් පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු පරකාශයක් ලබාගෙන තියෙනවා. එම ප්‍රකාශයට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉදිරියේදී මාධ්‍ය කැඳවා ඔහුගේ පාපොච්චාරණය විකාශය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් අධිකරණය අවධානය යොමුකළා. මාධ්‍යයේ පළවූ වීඩියෝ දර්ශන සහ ඡයාරූප අධිකරණයට ඉදිරිපත් කළා. අපරාධ යුක්ති ක්‍රියාදාමය තුළ සැකකරුගේ ප්‍රකාශයක් ලබා ගන්න විදිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් කරලා තියෙනවා. එතකොට කිසිම අවස්ථාවක සැකකරුවෙකුගේ ප්‍රකාශයක් සජීවීව හෝ පටිගත කර දර්ශන මාධ්‍යට මුදාහැරීමට කිසිම නෛතික ප්‍රතිපාදනයක් නෑ. පොලිස්පතිවරයාට, නියෝජ්‍ය පොලිස්පතිවරයාට හෝ වෙනත් ස්ථානාධිපතිවරයෙක්ට එහෙම බලයක් ලබාදීලා නෑ. ඒ අනුව මහේස්ත්‍රාත්තුමිය විශේෂයෙන්ම සඳහන් කළා මෙම නඩුවේ විවිධ අවස්ථාවලදී මාධ්‍ය මැදිහත් වෙලා මේ විමර්ශනවලට මැදිහත්වීමක් වෙලා තියෙනවා කියලා. එම නිසා මේ විමර්ශන පැමිණිල්ලට වගේම විත්තියටත් සාදාරණවන ආකාරයට කරන්න ඕන කියන එක තමයි අධිකරණයේදී මතුවුණේ.”



















