මීට අවුරුදු විසි ගණනකට කලින් ‘පාරමිතා’ කියලා කැසට් ඇල්බමයක් වෙළඳපොළට නිකුත්වුණා. ගීත 14ක් ඇතුළත් වෙලා තිබුණු ඒ ඇල්බමයේ තිබුණු ගීත අතරින් පාරමිතා නොපුරමු, සඳ රෑට රෑට, තොල් පෙති විතරක් වගේ ගීත රටේ අතිශය ජනප්‍රිය වුණා. ඒ කාලේ රේඩියෝ නාලිකා ඒ ගීත ප්‍රචාරය කළේ තරගෙට. ඒ හරහා ඒ ගීත ගායනා කරපු තරුණ ගායිකාවටත් ප්‍රසංග වේදිකාවේ ලොකු ඉල්ලුමක් ඇති වුණා කියලා නොකිව්වොත් ඒක බොරුවක්….
ගොඩාක් අය හිතුවා ඒ නවක ගායිකාවත් තරුවක් වගේ පෙනිලා හිටිගමන් නොපෙනිලා යයි කියලා. හැබැයි අවුරුදු 24ක් ගියත් ඒ තරුව ඒ විදියටම තවමත් ගී අඹරේ බැබළෙනවා….. පසුගියදා පැවති ‘SLIM – KANTAR’ ජනතා සම්මාන උළෙලේ (SLIM KANTAR PEOPLES AWARDS 2024) අඛණ්ඩව 09 වැනි වතාවටත් වසරේ ජනප්‍රියම ගායිකාව විදියට වගේම අඛණ්ඩව තුන්වන වතාවටත් තාරුණ්‍යයේ ජනප්‍රියම ගායිකාව විදියට සම්මාන හිමිවුණෙත් ඇයට. ඒ තුළින්ම ඇගේ ජනප්‍රියත්වය පැහැදිලියි. ඇය වෙන කවුරුත් නෙවෙයි ‘හදවතේ ගායිකාව’ විදියට අපේ රටේ කොයි කවුරුත් ආදරේ කරන සශිකා නිසංසලා. මේ උපුටාගනීමේ කතාබහ ඇය එක්ක…..
ඉතින් සශිකා දැන් ගෙදර සම්මාන බර භාණක් ඇති නේද?
(සිනාසෙමින්) ඔව් ඔව්. අපේ රටේ ප්‍රසිද්ධ සම්මාන උළෙල වලින් ප්‍රශස්ථම වගේම ජනප්‍රියම ගායිකාව වෙනුවෙන් සම්මාන 31ක් මට ලැබිලා තියෙනවා……
ඒ අතරින් ‘SLIM – KANTAR’ ජනතා සම්මාන උළෙලේ ලැබෙන සම්මානයන් ඔබට විශේෂයි නේද?
ඒක හරි. මොකද ඒ සම්මාන උළෙලෙදි වසරේ ජනප්‍රියම වගේම තාරුණ්‍යයේ ජනප්‍රියම ගායිකාව කියන සම්මාන දෙක දැන් අවුරුදු ගණනක ඉඳන් එකදිගටම මට හිමිවුණා….. අපේ රටේ මිනිස්සුන්ගේ ආදරේ තමයි ඒ සම්මාන වල තියෙන්නේ.
මේ විදියට අඛණ්ඩව ජනප්‍රියත්වය පවත්වාගෙන යන්නේ කොහොමද?
ඒකට හේතූන් කීපයක් තියෙනවා. මගේ ගීත, මගේ කටහඬ, මං මිනිස්සු එක්ක ගණුදෙනු කරන විදිය, මං අඳින පළඳින විදිය වගේ ගොඩාක් හේතු තියෙනවා…… ඒත් එක්කම මං නිතරම සංගීත ප්‍රසංග වලට යන හින්දා ලොකු – පොඩි කවුරුත් අතරේ මං ජනප්‍රියයි….
ඔබේ මුල්ම ගීත ඇල්බමය ඔබේ සංගීත ජීවිතේ හැරවුම් ලක්ෂයක්. මං හරි නේද?
හරියටම හරි. මගේ ‘පාරමිතා’ ඇල්බම් එක එළිදැක්වීමත් එක්ක මගේ ජීවිතේ සෑහෙන්න වෙනස්වුණා. ඒ නිසාම අදටත් ඒ ඇල්බම් එකේ ගීත වලට මං ආදරෙයි…..
ප්‍රසංග වේදිකාවේදි ඔබට කියන්නේ හදවතේ ගායිකාව කියලා. ඒ නමට ඔබ කොච්චර කැමතිද?
මට හිතෙන්නේ ඒකත් එක්තරා විදියක සම්මානයක් කියලා….. මොකද කියනවා නම් මිනිස්සුන්ගේ හදවත අස්සේ ඉඩක් වෙන්කරගන්න එක ලේසි නෑ. ඉතින් ඒ ගැන ගොඩාක් සතුටුයි.
මං කැමතියි හදවතේ ගායිකාවට හදවතේ ගායකයා දැනෙන හැටි ගැන අහලා බලන්න?
මුලින්ම කියන්න ඕන මමත් චාමරගේ හොඳ රසිකාවියක්…… කැම්පස් යන කාලේ ඉඳන් මං ඔහුගේ ගීත අහනවා. ඇත්තම කිව්වොත් චාමර වීරසිංහ කියන්නේ හරි හැගීම්බර කටහඬක් තියෙන අපේ රටේ පිනට පහළ වුණු සුන්දර ගායකයෙක්.
කලා ක්ෂේත්‍රය කොයි තරම් ගොසිප් හැදෙන තැනක් වුණත් කිසි දවසක ඔබට ගොසිප් හැදුනේ නෑ. රහසක් තියෙනවද?
කිසිම රහසක් නෑ…. අනික අපි හරියට හිටියම ගොසිප් හැදුනත් බයවෙන්න උවමනාත් නෑ. කොහොමත් මං ජීවත්වෙන්නේ කාටවත් ගොසිප් හදන්නත් බැරි විදියට. මං අම්මා කෙනෙක්. මං නිතරම මට ගැළපෙන දේවල් විතරයි කරන්නේ. සමාජය ඉදිරියේ ගෞරවය රැකෙන විදියට මං ජීවත් වෙනවා…..
ගීත ගායනයට අමතරව සශිකා වැඩිපුරම දක්ෂ මොනවටද?
(සිනාසෙමින්) උයන්න තමයි. හොඳටම උයන්න පුළුවන්. මගේ කෑම කන්න ඕන කෙනෙක් කැමතියි…..
දරුවෝ එහෙමත් දැන් ලොකු ඇති?
ලොකු පුතාට අවුරුදු 13යි. පොඩි පුතාට 10ක් වෙනවා.
මේ වෙද්දි ගොඩාක් කලාකරුවෝ විදෙස් රටවල පදිංචියට ගිහින්. සශිකාට එහෙම බලාපොරොත්තුවක් නැද්ද?
මෙච්චර ආදරයක් ලැබෙන රට දාලා මං කොහේ යන්නද? පිටරට ප්‍රසංගයකට ගියත් මං බලන්නේ කවදද ආයෙත් අපේ රටට එන්නේ කියලා. ඒ නිසා කවදාවත්ම මං මේ රට නම් දාලා යන්නේ නැතිවෙයි…..
රුවන් එස්.සෙනවිරන්න
















