BREAKING NEWS
Search

කොවිඩ් වලින් පසු පැය 17කට වරක් බිලියනපතියෙක් බිහිවෙන බවට හෙළිදරව්වක්

201

ලෝකයේ වැඩිම ප්‍රකෝටිපතියන් ප්‍රමාණයකට නිවහන වී ඇත්තේ චීනයේ බෙයිජිං නගරයයි.

ලොව අන් සියලු නගර අභිබවා ලොව වැඩිම බිලියනපතියන් ප්‍රමාණයක් බෙයිජිං නුවර වාසය කරන බව හෙළිදරව් වන්නේ Forbes සඟරාවේ පළවූ, ලොව ධනපතියන්ගේ නවතම වාර්ෂික නාම ලේඛනයෙනි.

Forbes ව්‍යාපාරික සඟරාව පවසන පරිදි පසුගිය වසර තුළ දී පමණක් බිලියනපතියන් 33 දෙනෙකු බෙයිජිං නුවරින් බිහිවී ඇත. ඒ අනුව, මේ වනවිට බෙයිජිං නුවර සිටින මුළු බිලියනපතියන්ගේ ගණන 100ක් බව එම සඟරාව පවසයි.

පසුගිය වසර 9ක් පුරා මෙම ලයිස්තුවේ ඉහළින්ම වැජඹුණු ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය මෙවර දෙවැනි ස්ථානයට පත් විය.

නිව්යෝර්ක් නුවර සිටින සමස්ත බිලියනපතියන් ගේ ගණන 99කි.

කොවිඩ් 19 වසංගතයෙන් චීනයට ඉක්මණින් මිදෙන්නට හැකිවීම, තාක්ෂණික ආයතනවල නැගී සිටීම සහ කොටස් වෙළෙඳපොළ ශක්තිමත් වීම හේතුවෙන් චීනයට මෙවැනි ඉහළ මට්ටමකට පැමිණීමට හැකිවී තිබේ.

බෙයිජිං නුවර සිටින ප්‍රකෝටිපතියන්ගේ ප්‍රමාණය වැඩි වුවත් නිව්යෝර්ක් නුවර සිටින බිලියනපතියන් ගේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 80ක් ලෙස ඉහළින් පවතී.

බෙයිජිං නුවර සිටින ඉහළම ධනපතියා ශෑo යීමිං ය. ඔහු TikTok නිර්මාතෘවරයා ය. එමෙන්ම, එහි මව් සමාගම වන ByteDance සමාගමේ ප්‍රධාන විධායකයා ය. ඔහුගේ ශුද්ධ වටිනාකම දෙගුණ විය. මේ වන විට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 35.6ක් දක්වා වර්ධනය වී තිබේ.

නමුත් නිව්යෝර්ක් නුවර වෙසෙන ධනවත් ම පුද්ගලයාගේ වත්කම ඩොලර් බිලියන 59කි. ඔහු නිව්යෝර්ක් නුවර හිටපු නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග් ය.

 

අන්තර්ජාලයේ පිහිට

කොවිඩ් වසංගතයෙන් පසුව චීනයේ මෙන්ම එක්සත් ජනපදයේ ද විද්‍යුත් තාක්ෂණික ව්‍යාපාර තව තවත් විශාල වන්නට විය.

වසංගතය පැමිණීමත් සමඟ කඩ සාප්පු කරා යාම බොහෝ දුරට අතහැර දැමූ මිනිසුන් අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹුණි. විනෝදාශ්වාදයන් සඳහා ද අන්තර්ජාලයේ පිහිට පැතූහ.

තාක්ෂණික මෙවලම් හා උපාංග නිර්මාතෘවරුන්ගේ සහ කොටස්කරුවන්ගේ පෞද්ගලික වත්කම් මහා පරිමාණයෙන් ඉහළ යන ආකාරය එමගින් දකින්නට ලැබුණි.

නගර වශයෙන් නොව, රටවල් වශයෙන් ගත් කල ද මෙම ධනපති ලැයිස්තුවට වැඩිම බිලියනපතියන් සංඛ්‍යාවක් අලුතින් එක්වී ඇත්තේ චීනයෙනි.

ෆොර්බ්ස් සඟරාවේ ධනපති ලැයිස්තුවට හොංකොං සහ මකාඕ කලාපයන් ද ඇතුළුව චීනයේ සිටින බිලියනපතියන් 210 දෙනෙකුගේ නාමයන් අලුතින් එක්වී තිබේ.

චීනයේ බිහිවූ නව බිලියනපතියන්ගෙන් අඩක්ම සිය වත්කම් උපයාගෙන ඇත්තේ නිෂ්පාදන සහ තාක්ෂණික ව්‍යපාරයන්ගෙනි.

ඔවුන් අතර චීන ජාතික කාන්තාවක් ද වන්නීය. ඇය කේට් වොන්ග් ය. ඇය බිලියනපතිනියක් වූයේ ඊ-සිගරට් නිෂ්පාදනයෙනි.

රටක් වශයෙන් බිලියනපතියන් 698ක් සහිත චීනය දැන් ඇමරිකා එක්සත් ජනපදයට ළංවෙමින් පවතී. බිලියනපතියන් 724 දෙනෙකු සිටින එක්සත් ජනපදය තවමත් ඉදිරියෙන් සිටී.

පැය 17කට වරක් එක් බිලියනපතියෙක්
පසුගිය වසර ඇතුළත පමණක් ලෝක ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට ලොව දසතින් එක්වූ අලුත් බිලියනපතියන්ගේ සංඛ්‍යාව 493කි. මෙය වාර්තාගත ඉහළ යාමකි.

ඒ අනුව බලන කල දල වශයෙන් සෑම පැය 17කට ම වරක් අලුතින් බිලියනපතියෙකු බිහිවන බව ෆෝබ්ස් සඟරාව පවසයි.

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ සිටින්නේ ඉන්දියාවයි. මේ වන විට ඉන්දියාව සතු බිලියනපතියන්ගේ ගණන 140කි.

සමස්තයක් ලෙස ගත් කල මුළු ආසියා ශාන්තිකර කලාපයේ රටවල බිලියනපතියෝ 1,149ක් සිටිති. ඔවුන් සියලුදෙනා ගේ සමස්ත වත්කම ඩොලර් ට්‍රිලියන 4.7කි.

එක්සත් ජනපදයේ පමණක් සිටින සියලුම බිලියනපතියන්ගේ සමස්ත වත්කම ඩොලර් ට්‍රිලියන 4.4කි.

BBC සිංහල




Leave a Reply

Your email address will not be published. Required fields are marked *