BREAKING NEWS
Search

අපි ජීවිතේටවත් නොකරපු දෙයක් වෙනුවෙන් වුණත් කතාවක් සෑදෙන්නට පුළුවන්- හැම කොල්ලෙක්ගේම සිහින කුමරිය සදනී

132

කොහොමද මේ දවස්වල ජීවිත?

මේ දිනවල තරමක් කාර්යබහුලයි. මගේ අලුත්ම ටෙලිනාට්‍යය වන “බන්ධනා” ස්වර්ණවාහිනී නාළිකාවේ රාත්‍රි නවයට විකාශය වෙනවා. ඒත් සමඟම වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් රංගනයෙන් දායක වුණා. ඉදිරියේදී ඒවාත් විකාශය

වේවි. බන්ධනා ටෙලි නාට්‍යයේ මයුමිගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර පිළිබඳ කතා කළොත්?

බන්ධනා ටෙලිනාට්‍යයේ මගේ චරිතය වන්නේ “මයුමි”. මයුමිගේ චරිත ස්වභාවය පිළිබඳ කතා කළොත් හරිම ආදරණීය, අවංක, එකම පුද්ගලයකුට පමණක් ආදරය කරන චරිතයක්. ඇය ආදරය කරන කෙනා කොපමණ වැරදි සිදුකළත් ඒ සෑම දෙයක්ම ඉවසාගෙන සිටින චරිතයක්. මට එම චරිතය සඳහා ආරාධනා කරන්නේ බුද්ධිනී ජයවර්ධන අක්කා. ඇය තමයි බන්ධනා ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරිය සහ තිර පිටපත් රචිකාවිය. ටෙලි නාට්‍යය විකාශය වන්නට පටන්ගෙන ටික කාලයක් වුවත් මයුමිට වගේම බන්ධනාටත් බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

යම්කිසි නිර්මාණයක් තෝරා ගන්නා විට ඔබ ඔබටම යම් යම් සීමා පනවාගෙන තිබෙනවාද?

ඔව් අනිවාර්යයෙන්ම, බොහෝ වෙලාවට මම චරිතය පිළිබඳ අධ්‍යයනය කරලා තමයි චරිතය භාර ගන්නේ. මට ගැළපෙනවද, මට කරන්නට පුළුවන්ද යනුවෙන් මම ගොඩක් වෙලාවට සිතනවා. “බන්ධනා” කියන්නෙත් හොඳට අධ්‍යයනය කරලා මට සාධාරණයක් කරන්න හැකියි යනුවෙන් සිතුණු නිසා භාර ගත්තු

චරිතයක්. සඳනි රංගනයෙහි යෙදෙන විටත් යම් යම් සීමාවන්වලට කොටු වී රංගනයේ යෙදෙනවා කියන්නේ ඇත්තක්ද?

රංගනයට සීමා යොදන්නට බැහැ යනුවෙන් ඇතැම් අය පවසනවා. නමුත් මම පොඩි සීමාවන් ටිකක් පනවගෙන තිබෙනවා. ඒ තුළ තමයි වැඩකටයුතු කරගෙන යන්නේ. ඒ වගේම චරිතයක් තෝරා ගන්නා විට අම්මගේ තාත්තගේ කැමැත්තත් බලලා තමයි චරිතය තෝර ගන්නේ. මගේ තනි කැමැත්ත විතරක් බලලා බැහැනේ. අම්මයි තාත්තයි කියන්නෙත් මගේ හොඳ ප්‍රේක්‍ෂකයෝ දෙදෙනෙක්. එයාලා අදහස් දක්වන්නෙත් ප්‍රේක්‍ෂකයන්ගේ කෝණයෙන්. එයාලගේ හොඳ ප්‍රතිචාරයක් ලැබුණොත් මම දෙවරක් නොසිතාම ඒ චරිතය භාර ගන්නවා.

කුඩා වයසකින් විශාල ප්‍රේක්‍ෂකයන් පිරිසකගේ ආදරයට ලක්වීම පිළිබඳ මොකද සිතෙන්නේ?

ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය දිනා ගන්නට ලැබෙනවා කියන්නේ එය ඇත්තටම පිනක්. කෙනකුට අවංක ආදරයක් ලැබෙන්නේ හරිම කලාතුරකින්. මම මේ ක්‍ෂේත්‍රයට පැමිණෙන්නේ වයස අවුරුදු දහ අටේදී. ඒ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය විදිහටයි. පසුව වෙළෙඳ දැන්වීම් කිහිපයකින් ප්‍රේක්‍ෂකයන් අතරට යෑමට අවස්ථාව ලැබුණා. මම රංගන ශිල්පිනියක් ලෙස මුලින්ම ප්‍රේක්‍ෂකයන් වෙත යන්නේ හාර කෝටිය ටෙලි නාට්‍යය හරහායි. ප්‍රේක්‍ෂකයන් දකින දකින රංගන ශිල්පීන්ට කැමැති වෙන්නේ නැහැනේ. රසිකයන් යම් ශිල්පියකුට කැමැති වන්නේ ඔහුගේ හෝ ඇයගේ යම් දක්‍ෂතාවකට නැතිනම් යම් කිසි ආකර්ෂණයකට. ඉතින් මම සෑම විටම උත්සාහ කරන්නේ මට ලැබෙන ප්‍රේක්‍ෂක ආදරය රැක

ගන්න. ජනප්‍රිය චරිතයක් වනවිට සෑදෙන කටකතා ප්‍රමාණය වැඩියි. සඳනි කොහොමද එවැනි චෝදනාවලට මුහුණ දෙන්නේ?

මට නම් මම දැනුවත්වම තවම එහෙම එවැනි චෝදනා එල්ලවෙලා නැහැ. නමුත් මේ ක්‍ෂේත්‍රය තුළ සිටින විට කටකතාවක් නොසෑදී තිබෙන්නේ නැහැ. අපි නොදන්නවා වුණත් අපි ජීවිතේටවත් නොකරපු දෙයක් වෙනුවෙන් වුණත් කතාවක් සෑදෙන්නට පුළුවන්. මම හෘද සාක්‍ෂියට එකඟව ජීවත් වන කෙනෙක්. එය මගේ ප්‍රතිපත්තියක්. හදවතට එකඟ නොවන කිසි දෙයක් මම කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම වැඩේ කරලා ගෙදර යන කෙනෙක්. ඒ නිසා බොහෝ දුරට මට කටකතා හැදෙනවා අඩුයි.

සඳනි දැන් ගායිකාවක් විදිහටත් රසිකයන් අතර ජනප්‍රියයි නේද?

ඔව්. පියත් රාජපක්‍ෂ සහ මම ගායනා කරන මගේ පළමු ගීතය වන “ආදරේ මා නමින්” ගීතය එළි දැක්වූවා. එහි සංගීත නිර්මාණය පියත් රාජපක්‍ෂ. ගීතය ලිව්වේ විඳුල අල්විස් සහ ඩිලාන් වීරසූරිය. එයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. දැනට මම සංගීත විෂය හදාරනවා සහ ඉදිරියේදී ගීත කිහිපයක් එළිදක්වන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා.

වර්තමානයේ රටෙහි ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය කලාවට බලපා තිබෙන්නේ කෙසේද?

කලාවට ලොකු බලපෑමක් ඇති වී තිබෙනවා. අපි ෂූටින් යන ට්‍රාන්ස්පෝට් එකේ පවා ලොකු ගැටලුවක් මතුවී තිබෙනවා. නමුත් අපව අපහසුතාවට පත් නොකර ඔවුන් සියලු පහසුකම් අපට සපයනවා. විශාල අර්බුදයක් මැද තමයි අපිත් ප්‍රේක්‍ෂකයන්ගේ රසාස්වාදය වෙනුවෙන් කැපවෙනු ලබන්නේ. නමුත් අපහසුතා මැද වුවත් ප්‍රේක්‍ෂකයන්ගේ වින්දනය වෙනුවෙන් අපි දිගටම කලා කටයුතු කරගෙන යනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *