රංගන ක්ෂේත්‍රයට අලුතින් එකතුවන චරිත අතරින් අදවන විට වැඩිම කතාබහකට ලක්වන සහ ප්‍රේක්ෂක ආදරය, ආකර්ෂණය බෙහෙවින් දිනාගෙන සිටින රංගන ශිල්පිනියක් තමයි නිම්මි මනෝහාරි. ඇය ගැන පසුගියදා විශේෂ කතාබහකට ලක්වුණා. ඒ සම්බන්ධව ඇයගෙන්ම දැන ගන්නට සැඳැල්ලෙන් පුංචි කතාබහක් කරන්න හිතුවා.
‘නාඩගම්කාරයෝ’හි පොඩ්ඩි යුග දිවියට? කියලා පහුගියකාලේ දකින්න තිබුණා. නිම්මි හොරෙන්ම විවාහ වුණාද?
ඇත්තටම ඒ විදියෙ සටහන් කිහිපයක්ම ගොසිප් සයිට්වල ෂෙයාර් වුණා. මමත් ඒවා දැක්කා. ඒ වගේම බොහෝ දෙනෙක් සුබපැතුම් එකතු කරලත් තිබුණා. නමුත් ඇත්තටම නම් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒ ෆොටෝ ෂූට් එකක්, අනුරාධපුරයේ සැලෝන් එකකින් ආපු ආරාධනයක් මත තමයි ඒ ෂූට් එක සිද්ධ වුණේ. උඩරට මනාළියක් විදියට හැඩගැන්වීමක් විතරයි කළේ.
නමුත් සැබෑ යුවළක් විදියට ඒ ඡායාරූපවලට හොඳ ප්‍රතිචාර තිබුණා නේද?
අම්මෝ ඔව්. ඒ ෂූට් එකට මගෙත් එක්ක මුලින් සම්බන්ධ වෙන්න හිටියෙ වෙනත් කෙනෙක්. නමුත් ඔහුගෙ කාර්ය බහුලත්වයත් එක්ක ඒ වෙනුවෙන් සම්බන්ධවීමේ අපහසුතාවයක් තිබුණා. ඊට පස්සෙ තමයි ස්වාධීන රූපවාහිනියෙ සහන් උඩුවවිදාන අයියාව යෝජනා වෙලා තිබුණෙ. සැලෝන් දිල්රූ සහ Groom Looks කියන ආයතන දෙක එකතුවෙලා තමයි මේ ෂූට් එක කළේ. අපි කළේ නිරූපණයක් පමණයි.
ෂූට් එකකට වුණත් එකතුවුණු සුබපැතුම් ගැන මොකද හිතෙන්නෙ?
එකතු වුණු සුබපැතුම් ගැන මාරම සතුටුයි. මොකද මට ආදරය කරන ප්‍රේක්ෂිකාවන්ගෙන්නෙ ඒ විදියෙ ප්‍රතිචාර ලැබෙන්නෙ. ඉතින් ඒවා මට ගොඩක් වටිනවා. නමුත් ඒ සුබපැතුම් ආදරය ඇත්තටම විවාහ වුණු දවසට ලැබෙද්දි මට ඊටත් වඩා උපරිම සතුටක් දැනෙයි.
ඇත්තටම විවාහවෙන්න තවම හිතලා නැද්ද?
දැනට නම් නැහැ. නමුත් හොඳ කෙනෙක් ලැබුණොත් ඉදිරියෙදි ඉක්මණින් විවාහය සිද්ධවෙයි.
නිම්මිට වැඩිපුරම නිරූපණය සඳහා ආරාධනා ලැබෙන්නෙ ගැමි පෙනුම විදහා දැක්වෙන චරිත නේද?
මෙහෙමයි, මම නිරූපණ කටයුතුවල ගොඩක්ම යෙදෙන්නෙත් නැහැ. නිරූපිකාවක් විදියට සම්බන්ධ වුණේ නම් සීමිත ෂූට් ගණනකට විතරයි. නමුත් ඇත්තටම මට ආරාධනා නම් ලැබෙනවා. ඒ ආරාධනා ලැබෙන්නෙම කැන්ඩියන් විදියට හැඩ ගැහෙන්න. උඩරට මනාළියක් විදියට නිරූපණයෙ යෙදෙන්න තමයි සැලෝන්වලින් කතා කරන්නෙත්. ඒකට හේතුව මගේ පෙනුම නිසා හෝ මගේ ගම නුවර නිසාත් වෙන්න ඇති. නමුත් ඇත්තටම උඩරට මනාළියක් සඳහා හැඩ ගැන්වෙන්න මම ටිකක් අකැමැතියි. හේතුව ඒක ගොඩක් වෙහෙසකරයි. ඇඟට මාල, වළළු ඒ ආභරණ පැළඳගෙන ඉන්නවා කියන්නෙ මාරම කට්ටක්. ඒ නිසාම මම ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වගේම මම නිරූපිකාවක් නොවන නිසාත් ලැබෙන හැමදේම භාරගන්නෙ නැහැ. මොකද මගේ වැඩත් එක්කත් කාලය කළමනාකරණය කරගන්න ඕනැනෙ. නමුත් ඉතින් පුළුවන් විදියට තෝරා බේරාගෙන කරගෙන යන අවස්ථාත් තියෙනවා. ඇත්තටම මම ගොඩක් කැමැති බටහිර, ඉන්දියන් හෝ දෙමළ විදියට හැඩ ගැන්වෙන්න. ඒ විදියෙ ආරාධනාවක් ආවොත් ඉදිරියෙදි භාර ගනියි.
නිම්මි ක්ෂේත්‍රයට එන්නෙ ‘නාඩගම්කාරයෝ’ හරහා නෙ. ඉතින් පොඩ්ඩිට තියෙන ඒ ආදරේ කොහොමද?
ඒ ආදරේ ගැන නම් විස්තර කරන්න අමාරුයි. ලංකාවෙ කොහේ ගියත් ඒ ආදරය ප්‍රතිචාර නොඅඩුව ලැබෙනවා. මට හැමෝම වගේ දැන් ආමන්ත්‍රණය කරන්නෙ ‘පොඩ්ඩි’ කියලා. නිම්මි මනෝහාරි කියන මගේ ඇත්ත නම ගොඩක් දන්නෙ නැති තරම්. නාඩගම්කාරයෝ කියන්න මගේ පළමු රංගන අත්දැකීම. ඒ තුළින්ම මේ විදියෙ ආදරයක් ලැබෙන්න මගේ ලොකු වාසනාවක් පෙර පිනක් තියෙන්න ඇති.
මේ සැබෑ වුණේ නිම්මි ජීවිතේ පැතූ හීනයක්ද?
රංගන ශිල්පිනියක් වෙන්න මට හීනයක් තිබුණෙ නැහැ. මට තිබුණෙ මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වීමේ කැමැත්තක්. මම වැඩිදුර හැදෑරීම් කළෙත් ඒ පැත්තෙන්. නමුත් කොවිඩ් කාලෙ ගෙදරට වෙලා ඉද්දි නොහිතපු විදියෙ ආරාධනාවක් මත තමයි ‘නාඩගම්කාරයෝ’ වෙනුවෙන් සම්බන්ධ වෙන්නෙ. මීට පෙර මට නිර්මාණ දෙක තුනකට වගේ ආරාධනා ලැබිලා තියෙනවා ටෙලි නාට්‍ය සඳහාත් මියුසික් වීඩියෝ සඳහාත්. නමුත් මට රංගනයට එතරම් කැමැත්තක් තිබුණෙ නැහැ. නාඩගම්කාරයෝ සඳහා සම්බන්ධ වුණෙත් අම්මාගේ කැමැත්තට. ඒ බලකිරීම මත. නමුත් අවසානෙදි ඒ දේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. මම දැන් ඒ චරිතයටත් රංගන වෘත්තියටත් මාරම කැමැතියි සහ ආදරෙයි.
ගොඩක් දෙනෙක් මේ ක්ෂේත්‍රයට එන්න, ජනප්‍රියත්වයක් ලබන්න ලොකු කට්ටක් කනවා. නමුත් නිම්මිට පළමු නිර්මාණයෙන්ම ඒ දේ ලැබුණා නේද?
ඇත්තටම ඔව්, ඒක ලොකු වාසනාවක්. ලංකාවෙ ජනප්‍රියම ටෙලි නාට්‍යයකට සම්බන්ධවීමට ලැබීම ලොකු භාග්‍යයක්. ඒ සතුට විස්තර කරන්න බැහැ. ඉතින් මට මේ අවස්ථාව උදාකරලා දුන්නු ස්වර්ණවාහිනි ආයතනයේ රංගන ද සිල්වා මහත්මයාව සහ සුදේව හෙට්ටිආරච්චි මහත්මයාව විශේෂයෙන් මතක් කරන්න ඕනැ. ඒ වගේම ‘පොඩ්ඩි’ කියන චරිතය ගොඩනඟාගන්න මහන්සි වෙන ඊට සහයෝගය ලබාදෙන සද්ධාමංගල සූරියබණ්ඩාර සර්, ශිවගුරුනාදන් සර් වගේම නාට්‍ය නිෂ්පාදක චාමර සමරවික්‍රම මහත්මයාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ හැමෝගෙම සහයෝගය සහ ශක්තිය මත තමයි ‘පොඩ්ඩි’ චරිතය තුළින් මට ලංකාවෙම ආදරය ලබාගන්න හැකිවුණේ.
පසුබිමින් කොයිතරම් තල්ලුවක් තිබුණත් දක්ෂතාවක් නැත්නම් ඉදිරියට යන්න බැහැනෙ. නිම්මිට කලා හැකියාවන් පාසල් වේදිකාවේ පටන් තිබුණද?
පාසල් වේදිකාවෙ රංගන අත්දැකීම් තිබුණෙ නම් නැහැ. නමුත් මම නර්තනය කළා. ඊට අමතරව මීඩියා සහ ක්‍රීඩා කළා. ඒ අංශවලින් කැපී පෙනෙන චරිතයක් වෙලා හිටියා පාසල තුළ. රංගන අත්දැකීම් නොතිබුණු නිසා තමයි මීට පෙර රංගනයට ආරාධනා ලැබුණත් ඒවා ප්‍රතික්ෂේප කළෙත්. මොකද මම මීට පෙර රංගන අත්දැකීමක් තියා ඒ පිළිබඳ හැදෑරීමක්වත් තිබුණෙ නැහැ. අදටත් මම ඇත්තටම රංගනය සම්බන්ධව වැලි කැටයක් තරම්වත් දන්නෙ නැහැ. නමුත් දැන් අත්දැකීම් ලබමින් මගේ වටා ඉන්න ප්‍රවීණ නවක ආදරණීය කලාකරුවන්ගෙ සහයෝගය මත මේ දේවල් හදාරමින් යනවා. ඉතින් රංගනයට මේ වෙද්දි ලැබෙන ප්‍රතිචාර එක්ක යම් හෝ දක්ෂතාවක් තියෙනවා කියලා හිතෙනවා. ඒ දක්ෂතා වැඩිදියුණු කරගෙන හොඳ ගමනක් යන්න දැන්නම් ගොඩක් කැමැතියි.
මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවට ගැහැණු ළමයෙකුට සාමාන්‍යයෙන් විරුද්ධත්වයක් තියෙනවනෙ. ගෙවල්වලින් නිම්මිට එහෙම නැද්ද?
අපේ ගෙදරින් එහෙම අකැමැත්තක් තිබුණෙ නැහැ. අම්මා, තාත්තා දෙන්නම ලොකු සහයෝගයක් දෙනවා මට මේ ගමන යන්න. අත්තටම මම රංගන ශිල්පිනියක් වෙලා අද ඉන්න තැන ගැන මටත් වඩා අම්මා තමයි සතුටු වෙන්නෙ. මොකද මටත් වඩා අම්මට ඕනැ වුණේ මාව රංගන ශිල්පිනියක් කරන්න. මීට පෙර රංගනයට ආරාධනා ලැබිලා මම ඒවා ප්‍රතික්ෂේප කරද්දි අම්මා තමයි කිව්වෙ ඇයි ප්‍රතික්ෂේප කරන්නෙ? සම්බන්ධවෙලා බලන්න, ඔයාට පුළුවන් කියලා.
ඉතින් ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කියමු?
ඉදිරියෙදි මම රංගනයෙන් සම්බන්ධ වුණු නිර්මාණ දෙකක් විකාශය වෙයි. ඒ චන්දන හිරුගල්බණ්ඩාර මහත්මයාගේ ‘වියළි’ නාට්‍යයේ සහ චාරුක අරණායක මහත්මයාගේ ‘වෙතැලි’ නාට්‍යයේ. ඒ නිර්මාණවල රූගත කිරීම් සිදුවෙනවා මේ දිනවල. තවත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේ පිටපත් කියවමින් යනවා.
ඒ ආරාධනා අතර සිනමාවට ආරාධනා නැද්ද?
ඇත්තටම සිනමාවට සම්බන්ධ වීම ඕනෑම රංගන ශිල්පියකුගෙ ලොකු බලාපොරොත්තුවක්නෙ. ඒ බලාපොරොත්තුව මටත් තියෙනවා. මේ වෙද්දි ආරාධනාත් ලැබුණා. නමුත් ඒවා යම් යම් හේතු මත ගිලිහුණා. ඉදිරියෙදි බලමු සම්බන්ධ වෙන්න. වාසනාවක් තිබුණොත් ඒ අවස්ථාව ලැබෙයි.
ධනු විජේරත්න
සාරවිට



















