මේ ඇය සති අන්ත පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක්…
කොහොමද මේ දවස්වල ජීවිතේ?
නිර්මාණ කටයුතු සහ මගේ රැකියාවේ කටයුතුත් එක්ක ජීවිතේ කාර්යබහුලයි.
අලුත් චිත්‍රපටය ‘ආශාවරී’ ගැන කතා කරමු?
ආශාවරී චිත්‍රපටය පසුගියදා තිරගත කිරීම ආරම්භ කළා එය අවුරුදු හතරකට පෙර නිර්මාණය කළ චිත්‍රපටයක්.
තිරපිටපත් රචනය සහ නිෂ්පාදනය කියන කාර්යන් සඳහාත් අතගැසුවා කියලා ආරාංචි වුණා?
ඔව්. මම ලියන එකට කුඩා කාලයේ සිටම කැමැතියි. කොවිඩ් කාලයේ මම සහ මගේ යහළුවන් එකතු වෙලා කතාබහ කරමින් සිටින විට අපිට සිතුණා අපේ කතාව වගේ කතාවක් මෙතෙක් ලියවිලා නැහැ කියලා. එම නිසා අපේ කතා එකතු කරලා අපි කතාවක් ලියුවා.
මේ සියල්ල සමබරව කරගෙන යන්නේ කොහොමද?
හිත ඇත්නම් පත කුඩාද කියනවානේ. තමන් කරන ඕනෑම දෙයක් ආසාවෙන් කරනවා නම් සමබරව කරගෙන යන්න පුළුවන්.
ලංකාව තුළ හෝ අන්තර්ජාතික මට්ටමෙන් ඔබ අනුගමනය කරන චරිතයක් සිටිනවාද?
ලංකාවෙ එහෙම අනුගමනය කරන්න තරම් චරිත නැහැ. තරු ගුණය තිබෙන කලාකරුවන් ලංකාවෙ හැදෙනවා නම් හොඳයි අපිත් කැමැතියි. නළු නිළියන්ට කරන ගෙවීම් එක්ක තරු ගුණයක් නඩත්තු කරන්න බැහැ. හොලිවුඩ්, බොලිවුඩ්වල නම් කැමැති අය සිටිනවා. නමුත් මම කාවවත් අනුගමනය කරන්නේ නැහැ.
ඔබට දඟකාර චරිතමද වැඩිපුර ලැබෙන්නේ?
මගේ චරිත ස්වරූපය නිසා එවැනි චරිත ලැබෙනවාද කියන්න දන්නේ නැහැ. කෙසේ වෙතත් මට ලැබෙන චරිතය තුළ යම් වෙනසක් කරන්න මම උත්සාහ ගන්නවා.

අඩිතාලම වැටුණේ මගේ තාත්තා හරහා. මගේ තාත්තා නාට්‍ය හා රංගකලාව පිළිබඳ ආචාර්යවරයෙක්. මම රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ ළමා නිළියක් විධියට සම්මාන ලබලා තිබෙනවා. වේදිකා නාට්‍ය තුළින් තමයි මම රංගනයට පිවිසුණේ. තාත්තාගෙන් තමයි මට ඒ පන්නරය ලැබුණේ. මට ජනප්‍රිය නිළියක් වෙන්න ආසවක් තිබුණේ නැහැ. මොකද ප්‍රසිද්ධිය නිසා නිදහස නැති වෙයි කියලා මට සිතුණා සහ මම ක්ෂේත්‍රය ඇතුළෙ වෙන දේවල් දන්න නිසා.
ක්ෂේත්‍රය ගැන ඔබට කලින් තිබූ අදහස ක්ෂේත්‍රය ඇතුළෙ වැඩ කරන්න ගත්තාට පසුව වෙනස් වුණාද?
ඔව්. මම කලින් සිතාගෙන සිටියාට වඩා ක්ෂේත්‍රය ලස්සනයි. අපි සිටින තැන ලස්සන කරගන්න අපි දැනගන්න ඕනෑ.
පහුගිය දවසක වුණු සිදුවීම ගැන ඔබට කියන්න තිබෙන්නේ කුමක්ද?
ප්‍රේක්ෂකයන් බුද්ධිමත්, බුද්ධිමත් විධියට එම සිදුවීම නරඹන ප්‍රේක්ෂකයන්ට වැටහෙයි කවුද හරි කවුද වැරැදි කියලා. ඒ නිසා තීරණය ඔවුන්ට භාරදීලා මම නිහඬව සිටිනවා. මම ඒ ගැන වැඩිදුර කතා කරන්න කැමැති නැහැ.
දිනිති කියන්නේ ස්ත්‍රීවාදී අදහස් දරන කෙනෙක්ද?
එවැනි වචනයක් මිනිස්සු හදාගෙන තිබෙන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. මම කියපු දේ නිසානේ එවැනි ප්‍රශ්නයක් අහන්නේ. මම පැවැසුවේ පොහොසත් බිරියක් වෙන්න කියලා. රජයේ මුදල්වලින් අවුරුදු ගාණක් ඉගෙන ගෙන සල්ලි තිබෙන පිරිමියෙක් විවාහ කරගෙන ගෙදරට වෙලා සිටිනවා. එය අපරාධයක්. මම කියන දේ ස්ත්‍රීවාදය නම් ඒක එහෙම වෙන්න ඇති. නමුත් මම කියන්නේ ආත්ම ගෞරවය සහ ආත්ම නිදහස ගැන.
සමාජ මාධ්‍ය හරහා නිතර නිතර ඔබ කතාබහට ලක්වෙනවා නේද?
සමාජ මාධ්‍ය තුළ සිදුවෙන දේවල් ගණන් ගත යුතු දේවල් නොවෙයි මම සිතන්නේ. බොහෝ වෙලාවට අපි සම්මුඛ සාකච්ඡාවක් සිදු කළ විට එය ප්‍රසිද්ධ කරගන්න මාතෘකාව විධියට කතාබහට ලක්වෙන දෙයක් දානවා. අපේ මිනිස්සු මුළු කතාවම අහගෙන සිටින්නේ නැතිව මාතෘකාව අල්ලාගෙන මැ’රෙන්න හදනවා. මොකක්ද වෙලා තිබෙන්නේ කියලා සොයන්නේ නැහැ. රැල්ලට කමෙන්ට් කරනවා. ඒකෙන් වෙන්නේ අපිව තව තවත් කැපී පෙනෙන එක. සමාජ මාධ්‍යවලින් අපිව නොමිලේම ප්‍රසිද්ධ කරලා දෙනවා. ඒ කියන දේවල් නිසා මගේ ගමන මම නවත්වන්නේ නැහැ. අදවන තුරු මට වැඩ නැති වෙලා නැහැ.
ඉදිරි නිර්මාණ කටයුතු මොනවාද?
ටෙලිනාට්‍ය සහ තවත් චිත්‍රපටයක් ඉදිරියේදී එන්න තිබෙනවා.
මව්බිම



















