තවත් දින දෙක තුනක් ගෑස් නොමැතිව පැවතුණහොත් දිවයිනේ බේකරි බොහොමයක් වැසී යනු ඇති බව දකුණු පලාත් බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා පවසනවා.
ඒ මහතා මේ අදහස් පලකලේ බේකරි කර්මාන්තය වර්තමානයේ මුහුණු පා ඇති අභියෝග සම්බන්ධයෙන් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කමල් පෙරේරා මහතා,
“දුප්පත් ජනතාව පාන් ගෙඩියකින් තමයි වේල පිරිමහ ගන්නේ. ගෑස් අර්බුදය තෙල් අර්බුදය නිසා සාමාන්‍ය කුලී වැඩ කරන ජනතාවගේ ආදායම් මාර්ග ඇණහිටලා. විදුලි අර්බුදය ගෑස් අර්බුදය නිසා මේ වන විට හෝටල් කර්මාන්තය, බේකරි කර්මාන්තය කඩා වැටෙමින් පවතිනවා. ලබන බදාදා වන විට වෙළඳපොළේ තෙල් ටිකයි, ගෑස් ටිකයි නැති වුනොත් බේකරි 75%ක් වහන්න වෙනවා.
තෙල් ටික ඉවර වෙනකොට නැවක් එනකම් බලන් ඉන්න ඕන නම් ගෑස් ටික ගන්න ගියහම කළු කඩ මුදලාලිට ඕන විදිහට එකේ මිල තීරණය වෙනවා නම්, විකිණෙනවා නම්, මේ රටට ආණ්ඩුවක් ඕනෙ නෑ. මොකටද ආණ්ඩුවක්? ආණ්ඩුවක් ඕනේ මේවා පාලනය කරලා මහජනතාවට අවශ්‍ය පහසුකම් ටික සපයන්නයි.”
මේ අතර පවතින අර්බුදකාරි තත්වය හමුවේ ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා කියා සිටියේ ගෑස් හිගය සහ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් එවැනි තත්වයක් හටගෙන ඇති බවයි.
පවතින අර්බුදකාරි තත්ත්වය හේතුවෙන් බේකරි 1,000කට අධික සංඛ්‍යාවක් මේ වන විට වසා දමා ඇති බව ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීමද බේකරි කටයුතු පවත්වාගෙන යාමට බරපතළ ගැටලුවක් වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
“මේ විදිහට යනකොට ඉදිරියේදී මම හිතන්නේ පාන් ගෙඩිය රුපියල් 100 නම් පනිනවා අනිවාර්යෙන්ම. පාන්ගෙඩිය රුපියල් 100න් ඉහළ යනවා. 100 නෙමෙයි 150ට යන්නේ නැතුව නැවතුනොත් ඇති. මේ තියෙන බඩු ගණන්. අරවා මේවා සේරම ප්‍රශ්නත් එක්ක අනිවාර්යයෙන්ම පාන් ගෙඩියක් රුපියල් 100ට වැඩියෙන් විකුණන්න වෙනවා. 100 අඩුවෙන් විකුණවා නම් ඒ නියමිත බර තියෙන පාන් ගෙඩියක් නෙමෙයි.”
Source:Asianmirror



















