BREAKING NEWS
Search

ඉන්දියාවේ සිට බෝට්ටුවේන් මෙරටට පැමිණ සගවා සිටි කාන්තාවක් සහ ඇයගේ දරුවන් දෙදෙනා නිරෝධායනයට

713

ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් ඇගේ දරු දෙදෙනාද සමඟින් සෞඛ්‍ය අංශ විසින් අද (01) සොයාගෙන නිරෝධායනය කරනු ලැබීය.

කෙසේවෙතත් අදාළ කාන්තාව සමඟ ඉන්දියාවේ සිට පැමිණි බව පැවසෙන තවත් කාන්තාවක් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

ඉන්දියාවේ චෙන්නායි කුප්පම් හි සිට අදාළ කාන්තාව ධීවර යාත්‍රා මගින් ඊයේ (30) අලුයම මෙරටට පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිට තිබේ.

ඒ වයස අවුරුදු 14 ක් සහ 4 ක් වූ සිය දරු දෙදෙනාද සමඟිනි.

මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් සමඟ පොලීසිය සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ ඔවුන් සැඟව සිටි නිවසට පැමිණ ඔවුන්ව නිරෝධායනයට යොමු කළේය.

මෙහිදී “අද දෙරණ“ට අදහස් දැක්වු ඉන්දියාවේ සිට මෙරට ට පැමිණි කාන්තාව,

“අපිව බෝට්ටුවෙන් එක්කගෙන ආපු ඉන්දීය ජාතිකයින් දෙන්නා අපිට කිව්වා මේ පැත්තෙන් ගියොත් යන්න පුළුවන් කියලා. “

සෞඛ්‍ය අංශ පැවසුවේ අදාළ කාන්තාව සහ දරු දෙදෙනාට රැකවරණය ලබාදුන් සහ ඔවුන් ඇසුරු කළ ප්‍රදේශයේ පවුල් 5ක පුද්ගලයින් 26 දෙනෙකුද නිරෝධායනය කළ බවය.

එමෙන්ම අදාළ කාන්තාව සහ දරු දෙදෙනා සමඟ ඉන්දියාවේ සිට තවත් කාන්තාවක් පැමිණි බවට වාර්තා වන නමුත් ඇය සිටින ස්ථානයක් මෙතෙක් සොයාගෙන නොමැත.

මේ අතර රටේ පවතින කොව්ඩ් වසංගතයේ දැඩි අවදානම පිළිබඳ නොසලකා කටයුතු කරන පිරිස් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම අදත් දක්නට ලැබුණු අතර ආරක්ෂක අංශ සිය නිරෝධායන මෙහෙයුම් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම අදත් ක්‍රියාත්මක කළේය.

කොව්ඩ් අවදානම නොතකමින් හංවැල්ල තුම්මෝදර රන්මුතු ඇල්ල සහ කුමාරිඇල්ල ප්‍රදේශයේ දිය නෑම සඳහා පැමිණි පිරිස් හරවා යැවීමට පොලීසිය පියවර ගනු ලැබීය.

Adaderana.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *