කළු ගඟ ගලා බසින්නේ දහසක් මිනිසුන්ගේ ජීවන අරගලයට පණ පොවමිනි.
ගෝවින්න, ඉහළ නාරගල ගම්මානයේ පදිංචි 34 හැවිරිදි කේ. ඩී. ශෂික ආසිරි හට ද කළු ගඟ යනු හුදෙක් ජල කඳක් නොව, තම දරු පවුලේ අනාගතය වෙනුවෙන් රන් රිදී මුතු මැණික් සොයන අතීත උරුමයකි.
ශෂිකගේ නිවස අද වෙනදාට වඩා නිහඬය. දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන වැඩිමහල් පුතු සහ තවමත් පෙර පාසල් වියටවත් නොඑළඹි බාල පුතු තම පියා එනතුරු මඟ බලා සිටිති. ඒ අතරේ ශෂිකගේ බිරිඳ තම කුස තුළ වැඩෙන තෙවන දරුවාගේ මුහුණ දැකීමේ නොඉවසිල්ලෙන් පසුවූවාය. එළැඹෙන අප්‍රියෙල් මාසයේදී තම කැදැල්ලට අලුතින් එක්වන ඒ අමුත්තා වෙනුවෙන් ශෂික පෙරුම් පිරුවේ දහසක් බලාපොරොත්තු හදවතේ තබාගෙනය.
එදින සවස් යාමයේ ශෂික තම මිතුරන් පිරිස සමඟ සුපුරුදු පරිදි ගඟට බැස්සේ මැණික් ඉල්ලම් සෙවීමේ අරමුණිනි. ඔහුගේ සමීපතම මිතුරා වන රුවන් කළුබෝවිල පවසන පරිදි, ඔවුන් ඉතාමත් පිළිවෙළට හා ආගමික වත්පිළිවෙත් ඉටු කරමින් මෙම කටයුත්තේ නිරත වූවන්ය.
රාත්‍රී 11.30 ට පමණ ඇත. ගඟේ අඩි 12 ක් පමණ ගැඹුරු පතුලේ ශෂික සිය රාජකාරිය කරමින් සිටියේය. මතුපිට සිටි පිරිස බලා සිටියේ බෝට්ටුවට එන වැලි බාල්දි දෙසය. නමුත් හිටිහැටියේම සියල්ල වෙනස් විය.
“අපි ගඟේ හිටවලා තිබුණ යකඩ බටේ එක පාරටම අසාමාන්‍ය බරක් එක්ක පස්සට විසි වුණා. ඒ එක්කම දිය යටින් මඩ බුබුළු උඩට එන්න පටන් ගත්තා. අපි දැනගත්තා පස් කණ්ඩියක් කඩා වැටුණා කියලා…” රුවන් ඒ අමිහිරි මතකය සිහිපත් කළේ කම්පාවෙනි.
පස් කණ්ඩියට යටවූ ශෂිකව බේරාගැනීමට මිතුරන් දැඩි වෙහෙසක් ගත්තේය. විනාඩි 10 ක් ඇතුළත ඔහුව දිය මතුපිටට ගෙන ඒමට ඔවුන් සමත් වුවද, සොබාදහම ඔවුන්ට වඩා වේගවත් විය. 1990 ගිලන් රථ සේවය මගින් ඉතා ඉක්මනින් හොරණ රෝහලට රැගෙන ගියත්, ඒ වන විටත් ශෂික මෙලොව හැර ගොස් තිබුණි.
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැළුම් වඩුගේ මහතාගේ නිගමනය වූයේ දියේ ගිලීම නිසා මෙම මරණය සිදුව ඇති බවයි.
ශෂික යනු මත්පැන් පානය නොකළ, සත්ව මාංශ අනුභව නොකළ, ඉතා ගුණගරුක තරුණයෙකි. තම කුසෙහි සිටින දරුවාගේ මුහුණ බලන්නටත් පෙරාතුව, ඒ අහිංසක පියා කළු ගඟේ සීතල දිය පතුලේ සිය අවසන් හුස්ම අතහැරියේය.
හොරණ, ගෝවින්න ප්‍රදේශයම අද හඬා වැටෙන්නේ මැණික් කැටයක් වන් ඒ සොඳුරු මිනිසාගේ අකල් වියෝවෙනි. ශෂික සදහටම දෙනෙත් පියා ගත්තේ ඔහුගේ දරු පවුලටත්, උපදින්නට ඉන්නා දරුවාටත් සදාකාලික තනියක් ඉතිරි කරමිනි.

















