මව හා සිය හත් හැවිරිදි සහෝදරයා සමග යතුරුපැදියෙන් යමින් සිටියදී ගම්පොළ ඇත්ගාල නාගොල්ල ප්‍රදේශයේදී තුන් හැවිරිදි දියණියක් මෝටර් රථයකට බිලිවෙන අයුරු දැක්වෙන දර්ශන අසල තිබූ සිසිටීවී කැමරාවක සටහන්ව තිබී සොයාගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටිය පොලිස් ස්ථානාධිපති නිශ්ශංක නන්දන කුලතුංග මහතාගේ පෙර පාසල් දියණියයි.
කුලතුංග මුදියන්සේලාගේ අභිෂා නිෂාරා කෙනුලි කුලතුංග නමැති මෙම මල් කැකුළ ගම්පොළ උනම්බුව ප්‍රදේශයේ පදිංචිව සිටියාය.
මියගිය දැරියගේ පෙර පාසල් ගුරුවරියගේ උපන්දින සැමරුමක් සඳහා මව හා සහෝදරයා සමඟ මෙසේ මාවතුර ප්‍රදේශයට යමින් සිටියදී බස් රථයකට ඉස්සර කිරීමට ගිය මෝටර් රථයක් ඔවුන් ගමන් ගත් යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව තිබුණි.
අනතුරෙන් පසු ඔවුන් ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ශල්‍ය කර්මයකට භාජනය වෙමින් සිටියදී ඉකුත් 20 දා සවස පහට පමණ ඇය මිය ගොස් ඇත.
ගම්පළ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සචින්ත රණතුංග මහතා සඳහන් කර තිබුණේ ඇගේ පපු ප්‍රදේශය යමක වැදීමෙන් උදරය හා පපුවට හානිවීම හා අභ්‍යන්තර රුධිර වහනයෙන් ඇය මියගොස් සිටි බවයි. ඇගේ මව වූ කුමාරි හේරත් යන අයගේ අතක්ද බිඳී තිබුණි.
අපරික්ෂාකාරී ලෙස මෝටර් රථය පැදවූ 82 හැවිරිදි විශ්‍රාමිකයකු වූ නාවලපිටිය අඹගමුව උඩබුලත්ගම පදිංචි ගුණපාල ජෙරල්ඩ් ගාමිණි සුභසිංහ යන අය ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත්‍රාත් සරසි පරණමාන මෙනෙවිය විසින් ඔහු 23 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර පසුව රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.
ගම්පොළ ඇත්ගාල පොලිසියේ ස්ථානාධිපති ප්‍රියන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් මත පො.සැ. (49705) අකලංක, (39885) නිමල් කුලරත්න යන නිලධාරීහු මෙහි පරීක්ෂණ පැවැත්වූහ.
ගම්පොළ – සුරංග දිල්හාන්




















