BREAKING NEWS
Search

අම්මේ මම පන්ති ගිහින් එන්නම් – සුදු ඉර මැද සදහටම නැවතුණු සනුල්ලියාගේ පුංචි ලෝකය..

462
මල් වැනි දරුවන්ට පාර පනින්නට ඇති ආරක්ෂිතම ඉසව්ව “සුදු ඉර” බව අපි අසා ඇත්තෙමු.
එහෙත් ඒ සුදු ඉරම මරණ වරෙන්තුව ලියාදුන් අවාසනාවන්ත පුවතක් පදවිය, 18 කණුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

බෝගහවැව ගම්මානයේ පදිංචි නව හැවිරිදි සනුල්ලියා දියණිය, ඉකුත් 21 වැනිදා නිවසින් පිටව ගියේ තවත් එක දවසක මෙන් අනාගතය දකින්නට අකුරු කරන්නටය.

“අම්මේ මම පන්ති ගිහින් එන්නම්” කියා ඇය නිවසින් පිය නැගුවේ හෙට දවසේ ලොකු මිනිසෙකු වීමේ දහසක් බලාපොරොත්තු හිතේ තබාගෙනයි.

එහෙත් ඒ සුන්දර සමුගැනීම ඇගේ අවසන් ගමන වනු ඇතැයි ඒ අසරණ අම්මාත් තාත්තාත් හීනෙකින්වත් නොසිතන්නට ඇත.

සුදු ඉර මතදී වේගයෙන් ආ වෑන් රථයකට යටවී ඒ පුංචි මල් කැකුළ මහමඟ ඇද වැටෙද්දී, ඇගේ අතේ තිබූ පොත්පත් ද දූවිලි හා ලේ අතරේ විසිරී යන්නට ඇත.

තමන් යට කළේ ලෝකයක් වටිනා පුංචි ජීවිතයක් බව දැන දැනත්, ඇය දෙසවත් නොබලා රියදුරා වෑන් රථය පවා නොනවත්වාම පලා ගොස් පොලිසියට බාර වෙද්දී, සනුල්ලියා දියණිය පණ අදිමින් සිටියේ තමන්ට අහිමි වන ලෝකය දෙසත් තමන් එනතුරු මඟ බලන අම්මා දෙසත් බලමිනි.

දින හතරක් පුරා අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ යන්ත්‍ර සූත්‍රවල ආධාරයෙන් හුස්ම ගනිමින්, ඇය මරණය සමඟ මහා සටනක නිරත වූවාය. “මගේ රත්තරන් දුව කොහොම හරි ඇස් අරියි” කියා මුළු ගමක්ම, රටක්ම ඇය වෙනුවෙන් ප්‍රාර්ථනා කළද, ඒ සියලු ප්‍රාර්ථනා සුන් කරමින් ඊයේ රාත්‍රියේ සනුල්ලියා සදහටම දෑස පියා ගත්තාය.

ඇය අද නිවසට එන්නේ සුදු පාට පොත් බෑගයත් එල්ලාගෙන හිනාවෙමින් නොව, සුදු රෙද්දකින් එතුණු දේහයක් ලෙසිනි.
සුදු ඉර මැද ඉතිරි වූයේ සේදී නොගිය ඇගේ ලේ පැල්ලම් සහ කඳුළින් තෙත් වූ මතකයන් පමණි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *