BREAKING NEWS
Search

අධිවේගයේ පිස්සු නැටූ තරුණයින්ට ඇප

337

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ මෝටර් රථයේ ගමන් ගත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තරුණයින් සිව් දෙනා සහ රියැදුරු ඇප මත මුදාහරින ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (අප්‍රේල් 22) නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ, අදාළ පුද්ගලයින් පස් දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස ය.

මහනුවර, උඩතලවින්න සහ අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙසේ ඇප මත මුදා හැරිණි.

අදාළ තරුණයින් ගාල්ල ප්‍රදේශයේ විනෝද චාරිකාවක් යමින් සිටියදී මෙලෙස විනය විරෝධී ආකාරයෙන් හැසිරී ඇති බවට අධිකරණයේදී කරුණු අනාවරණය විය.

දින දහයක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිය සේවාදායකයින්ට එරෙහිව චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීමට ඔවුන් සූදානමින් සිටින බවත් සිද්ධිය සම්බන්ධයෙන් කනගාටු වන බැවින් ඇප පනතේ 14 වගන්තිය ප්‍රකාරව ඕනෑ ම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙසත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන මහෙස්ත්‍රාත්වරයා මෙලෙස ඇප නියම කළේ ය.

නඩුව ලබන නොවැම්බර් 25 වන දා යළි කැඳවීමට නියමිතය.

පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 10) දින අනාරක්ෂිත සහ අපරික්ෂාකාරී ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් ධාවනය කිරීම සම්බන්ධයෙන් අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *