සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පසුගිය 21 වනදා අනුමැතිය හිමි විය. විපක්ෂය ඊයේ පාර්ලිමේන්තුවේදී විමසා සිටියේ සහල් අතිරික්තයක් තිබෙන බව ප්‍රකාශ කරන ආණ්ඩුව සහල් ආනයනය කරන්නේ කුමන හේතුවක් නිසාද යන්නයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ සහල් මාෆියාකරුවන් විසින් සහල් තොග සඟවාගෙන සිටින හෙයින් සහල් ආනයනය කිරීමට තීරණය කළ බවයි.
රසායනික පොහොර ආනයන කිරීම තහනම් කර ඇති හෙයින් සහල් ආනයනය කිරීමේදීද කාබනික පොහොර යොදා නිෂ්පාදනය කළ සහන ආනයනය කරන්නේදැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඇමතිවරයාගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු දෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ ආනයනය කරන සහල් නිෂ්පාදනය කර තිබෙන්නේ කාබනික පොහොර යොදාද රසායනිය පොහොර යොදාද යන්න සොයා බැලීමට අවශ්‍ය නොවන බවයි.
දැනටත් මෙරට තුළ වී ගොවිතැන සඳහා රසායනික පොහොර භාවිතා කරන බවත්, කාබනික පොහොර භාවිතා කරන්නේ මීලඟ යල කන්නයේදී බවත් පෙන්වා දෙන ඇමතිවරයා සඳහන් කරන්නේ ඒ දක්වා රසායනික පොහොර යොදා නිෂ්පාදනය කළ සහල් ආනයනය කිරීම ගැටලුවක් නොවන බවයි.
Source – Lankanewsweb



















