119 දුරකතන අංකයට ව්‍යාජ තොරතුරක් ලබා දුන් තැනැත්තියක අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පෙරේදා (අප්‍රේල් 18) පස්වරු 2.45ට පමණ 119 මධ්‍යස්ථානය වෙත දුරකතන ඇමතුමක් ලැබී ඇත.
ඒ, දංකොටුව පොලිස් ස්ථානයට පුපුරණ ද්‍රව්‍ය සහිත වාහනයකින් පිරිසක් පැමිණ අනර්ථයක් සිදු කිරීමට තැත් කරන බවට ය.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් දංකොටුව පොලිසිය මගින් සිදු කර ඇති අතර අදාළ දුරකතන පණිවුඩය ලබා දුන් කාන්තාව සොයාගෙන තිබේ.
සැකකාරිය දංකොටුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
තම 28 හැවිරිදි සහෝදරියගේ දුරකතනය යොදාගෙන සැකකාරිය 119 මධ්‍යස්ථානයට එම ඇමතුම ලබා දී තිබෙන බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
එය ව්‍යාජ පණිවුඩයක් වන අතර පොලිසිය මුලා කිරීමේ අදහසින් එම ඇමතුම ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඊයේ (අප්‍රේල් 19) දංකොටුව පොලිසිය මගින් සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇමතුම ලබා දුන් සැකකාරිය ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර දුරකතනය ලබා දුන් සැකකාරිය ඇප මත මුදා හැර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දංකොටුව පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.
තව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අදාළ අවස්ථාවේදී පොලිසියේ සහය අවශ්‍ය වන කාරණා වන හදිසි අපරාධයක්, ආපදාවක්, අනතුරක් දැනුම් දීම සඳහා 119 අංකය හඳුන්වා දී ඇති බවත් එයට කාලයක සිට අවභාවිත වන බවත් ය.
119 හෝ වෙනත් හදිසි දුරකතන අංක අවභාවිත කිරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.



















