BREAKING NEWS
Search

බෝම්බ බියෙන් පණ එපා කියා දිවූ තලපති විජේ හොලෝග්‍රෑම් තාක්ෂණයෙන් ජනතාව අමතයි

8

ඉදිරි තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගනිමින්, දකුණු ඉන්දීය සුපිරි නළු විජේගේ නායකත්වයෙන් යුත් Tamilaga Vettri Kazhagam (TVK) පක්ෂය මැතිවරණ ප්‍රචාරණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළා තිබේ. ඒ, අපේක්ෂකයා භෞතිකව පෙනී නොසිටියද, ත්‍රිමාණ හොලෝග්‍රෑම් (3D Hologram) තාක්ෂණය මගින් ජනතාව ඇමතීමේ අති නවීන වැඩපිළිවෙලක් ආරම්භ කරමිනි.

තලපති විජේ සිය දේශපාලන ගමන ආරම්භ කිරීමත් සමඟ ඔහුව දැකබලා ගැනීමට සෑම ප්‍රදේශයකම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රොක් වීම නිසා දැඩි ආරක්ෂක ගැටලු සහ ප්‍රවාහන බාධා මතු විය. පසුගියදා පෙරම්බූර් ආසනයෙන් නාම යෝජනා භාර දීමෙන් පසු පැවැත්වීමට සැලසුම් කළ රැලියකට දහස් ගණන් පිරිස් පැමිණීම නිසා එය පාලනය කිරීමට නොහැකිව ඇතැම් ප්‍රචාරණ කටයුතු අවලංගු කිරීමට පවා සිදු විය. මෙම ගැටලුවට විසඳුමක් ලෙස කුඹකෝනම් (Kumbakonam) ආසනයේ TVK අපේක්ෂක විනෝත් රවි විසින් මෙම හොලෝග්‍රෑම් තාක්ෂණය ප්‍රථම වරට හඳුන්වා දී ඇත.

හොලෝග්‍රෑම් යනු ලේසර් කිරණ භාවිතයෙන් යම් පුද්ගලයෙකුගේ හෝ වස්තුවක ත්‍රිමාණ රූපයක් හිස් අවකාශයේ මැවීමට හැකි තාක්ෂණයකි. මෙහිදී විජේ සැබෑ ලෙසම වේදිකාව මත සිටිනවා සේ පෙනෙන අතර, ඔහු ජනතාව අමතා ඡන්දය ඉල්ලන ආකාරය ඉතාමත් තාත්වික ලෙස මෙමගින් නිරූපණය කෙරේ.

තමිල්නාඩුවේ ප්‍රධාන පක්ෂ වන DMK, AIADMK සහ සීමන්ගේ NTK පක්ෂ සමඟ කරට කර සටනකට පිවිස සිටින විජේ, මැතිවරණ ව්‍යාපාරයේ අවසාන දින කිහිපය තුළ මෙම හොලෝග්‍රෑම් තාක්ෂණය ප්‍රාන්තය පුරා භාවිතා කිරීමට මැතිවරණ බලධාරීන්ගෙන් නිසි අවසර ලබාගෙන තිබේ.

කෘත්‍රිම බුද්ධිය (AI) සහ හොලෝග්‍රෑම් වැනි තාක්ෂණයන් මැතිවරණ වේදිකාවට පැමිණීමත් සමඟ, ඉදිරියේදී ලෝකයේ දේශපාලන ප්‍රචාරණ රටාව මුළුමනින්ම වෙනස් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ මත පළ කරති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *