රජ මාළිගාවක් යනු සුඛෝපභෝගී ජීවිතයේ කූටප්‍රාප්තිය බව අප කාගේත් විශ්වාසයයි; නමුත් බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ කෑම මේසයේ ක්‍රියාත්මක වන එක්තරා නීතියක් එම සුරංගනා කතා සිතුවිලි සම්පූර්ණයෙන්ම කණපිට හරවයි.
සාමාන්‍යයෙන් රජවරුන්ගේ භෝජනාගාරවලින් දිනපතා ඉවතලන අතිරික්ත ආහාර ප්‍රමාණය සුළුපටු නැත. එහෙත් චාල්ස් රජු ඊට හාත්පසින්ම වෙනස් බවත්, කෑම මේසයෙන් ඉතිරි වන සෑම දෙයක්ම ඊළඟ දිනයේ වෙනත් ආහාරයක් බවට පරිවර්තනය වීම හෝ නැවත ප්‍රයෝජනයට ගැනීම එහි අනිවාර්ය කරුණක් බවත් ටොම් පාකර් සිය ග්‍රන්ථයේ සටහන් කර තිබේ. ආහාර නාස්තිය දැඩි ලෙස පිළිකුල් කරන රජු කිසිවක් කුණු කූඩයට දැමීමට ඉඩ නොදෙන බව රාජකීය ලේඛක රිචඩ් ෆිට්ස්විලියම්ස් ද වැඩිදුරටත් තහවුරු කරයි.
ආහාර සුරක්ෂිතතාව පමණක් නොව, සමස්ත පරිසර පද්ධතියම රැකගැනීම වෙනුවෙන් රජු සිය සම්පූර්ණ කාර්ය මණ්ඩලයම මෙහෙයවා ඇති අයුරු විශ්මයජනකය. බකිංහැම් මාලිගයේ බලශක්ති පරිභෝජනය අවම කිරීම, උද්‍යානවල කෘමිනාශක භාවිතය සීමා කර වනජීවීන්ට හිතකර පරිසරයක් සැකසීම සහ යල්පැනගිය තාක්ෂණික උපකරණ ප්‍රතිචක්‍රීකරණය සඳහා පරිත්‍යාග කිරීම වැනි තිරසර පියවර රැසක් එහි ක්‍රියාත්මකය. බොහෝ ලෝක නායකයින් සුඛෝපභෝගී ජීවිත ගත කරමින් පරිසර සමුළු අමතද්දී, බ්‍රිතාන්‍යයේ රජු තම කාර්යභාරය නිවසේ කෑම මේසයෙන්ම ආරම්භ කර තිබීම සෙසු පාලකයින්ට කදිම පිළිතුරක් සපයයි.
කිරුළක බර මනින්නේ එය නිර්මාණය කර ඇති රත්තරන්වලින් නොව, එය දරන පුද්ගලයාගේ හෘදය සාක්ෂියේ ප්‍රමාණයෙන් බව චාල්ස් රජුගේ කෑම මේසය අද ලෝකයටම නිහඬව පවසමින් සිටී.



















