විදුලිබල හා බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේදී ඔහු ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැන් ලැජ්ජා විය යුතු යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඊයේ (17 දා) පැවසීය.
ගල් අඟුරු පාඩුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන විට ආණ්ඩු පක්ෂයේ පිරිස උත්සාහ කළේ දිගින් දිගටම ජයකොඩි මහතා ආරක්ෂා කිරීමට යැයිද හෙතෙම සඳහන් කළේය.
කුමාර ජයකොඩි මහතා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.
ඔහු මෙසේද සඳහන් කළේය.
කුමාර ජයකොඩි මහතා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වුණේ සමාජයෙන් ආපු දැඩි බලපෑමත්, විගණකාධිපති වාර්තාව සහ සජබෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව ආදී කරුණු මූලික කරගෙනයි. ඇත්තටම ඔහු අස්වුණා නෙමෙයි අස්වෙන්න වුණා. අස්වීමේ ලිපියේ ඔහු සඳහන් කරලා තියෙනවා පරීක්ෂණවලට සහාය දෙන්න ඉල්ලා අස්වෙනවා කියලා. එහෙම වුවමනාවක් තිබුණ නම් විගණකාධිපති වාර්තාවෙන් ගල් අඟුරු පාඩුව ගැන කියනකොටයි ඔහුට අස්වෙන්න තිබුණේ. ඒත් ඔහු ඒ වෙලාවේ කිව්වේ කිසිම හේතුවක් මත අස්වෙන්නෙ නෑ කියලා. ආණ්ඩුවෙ අය කිව්වෙත් ඔහු අස් කරන්නෑ කියලා. සමාජ බලපෑම හමුවේ ඒත් දැන් අස්වෙන්න වුණා. අස්වෙලා මදි. මෙම ගල් අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අල්ලස් කොමිසමට යොමු කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කර නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම වෙච්ච පාඩුවක් මේකට වගකිවයුතු පිරිසගෙන් පෞද්ගලිකව අය කරගත යුතුයි.
අනුරාධ හිරිපිටියගේ
















