BREAKING NEWS
Search

සා.පෙළ විභාග මැද ගම්පොළ ගුටි කෙළියක්.. ප්‍රදේශයක් කැළඹූ ඒ සිදුවීම ගැන ඇසෙන කතාව මෙන්න..

1
සා.පෙළ විභාගය පසුගිය දිනක ආරම්භ වුණා. දිවයිනේ සිසුන් දස දහස් ගණනක් මේ විභාගයට මුහුණ දෙද්දී මේ ඇසුණේ වෙනස්ම කතාවක්.
මෙවර අපොස සා.පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් බිම දණගස්වා පහර දී වීඩියෝ කළ තවත් සිසුන් පස්දෙනකු රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගම්පොළ මහෙස්ත්‍රාත් සරසි පරණමාන මෙනෙවිය නියෝග කර තිබෙනවා. ළඟම ඥාතීන් වන දෙදෙනකු ඇප තැබිය යුතු බවට ද කොන්දේසි පැනවා තිබුණා.

මෙසේ ඇප නියමය වූයේ ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් පාසල් දෙකක සිසුන් පිරිසකටයි.

මෙම පහර දීමේ සිද්ධිය සඳහා සිසුන් විසිනවදෙනකු සහභාගි වී ඇති බවට ගම්පොළ කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇති අතර, එයින් ඍජුව ම සම්බන්ධ තවත් සිසුන් දෙදෙනකු ඊයේ (18 දා) පොලිස් භාරයට ගෙන ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම දෙදෙනා අතර පහර දීම සැලසුම් කළ ප්‍රධාන සිසුවා ද සිටින බව පොලිසිය සඳහන් කළා.

නව කුරුඳුවත්ත ප්‍රදේශයේ පාසලක හා ගම්පොළ නගරයේ පාසලක සිසුන් මෙම පහර දීමට හා පහර කෑමට ලක්ව තිබෙන අතර අපොස සා.පෙළ සිසුන්ට අමතරව ඉහළ පන්තියක සිසුවකු ද මේ අතර සිටින බව අනාවරණය වී තිබෙනවා.

කිසියම් අපහාසාත්මක වචනයක් මුල් කරගෙන මෙම ආරවුල හටගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

මෙම කරුණට අදාළව සිසුන් තිදෙනකු අල්ලා ගෙන ඔවුන්ට පහර දී බිම දණගස්වා පරුෂ වචනයෙන් බැණ වදිමින් මුහුණට පහර දෙන ආකාරය වීඩියෝ ගත කර එය සමාජ මාධ්‍යයට මුදාහැර තිබෙනවා.

පහර කෑමට ලක්වූ සිසුන් තිදෙනා මේ පිළිබඳව මව්පියන්ට නොදන්වා එය රහසක් ලෙස තබාගෙන සිටියත් පාසල් නිල ඇඳුමෙන් සිදු කරන මෙම පහර දීමේ සිද්ධියේ රූප රාමු සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් සැරිසරද්දී එය මවුපියන් දැන ගෙන ඒ පිළිබඳව දරුවන්ගෙන් විමසා පසුව සිද්ධිය 16 දා කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

මුහුණට හා කන්වලට පහර දීමෙන් කන් රිදෙන බව සිසුන් පැවසීම නිසා ඔවුන් කුරුඳුවත්ත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහර දීමට හවුල් වූ සිසුන් විසිනව දෙනා අතුරින් බොහෝ දෙනකු මෙම සිද්ධිය බලා සිටීමට පැමිණි අය බව ද තවත් කිහිපදෙනකු එළඹෙන දෙසැම්බර් මස සා.පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් බවද වැඩි දෙනකු මෙවර අපොස සා.පෙළ විභාගයට ලියන සිසුන් බවද පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දයාල් ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් තව දුරටත් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වනවා.

දිවයින පුවත්පත ඇසුරෙන්..

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *