“ඔබ, ඔබේ දරුවාට ආදරේනම් ස්මාර්ට් දුරකථනය දෙන්න එපා. විශේෂයෙන් අවුරුදු 3ට අඩු දරුවන්ට. අවුරුදු 3ට අඩු පොඩ්ඩො හුඟදෙනෙක් දැන් ලෙඩ්ඩු වෙලා. ඒ නිසා අවුරුදු 3 පනිනකම් දරුවන්ට ෆෝන් දෙන්න එපා. මේ ගැන දෙමාපියන් විශේෂ අවධානය යොමු කිරීම ඉතා වැදගත්” යැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා“ (11දා) පැවසීය.
ජංගම දුරකථනයට ඇබ්බැහිවීම නිසා ඇස් පෙනීම දුර්වල වූ අවුරුදු 3ට අඩු දරුවන් ළමා රෝහලට පැමිණීමේ ප්‍රවණතාවක් ඇතැයි ද ඒ මහතා කීය. තවදුරටත් කතා කළ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේ ද කියා සිටියේය.
“අවුරුදු 3ට අඩු දරුවන්ට ජංගම දුරකථනය දුන්නම ඇස් පෙනීම දුර්වල වෙනවා. ඇස් වියළි වෙනවා. එතකොට දරුවන්ගේ කථන වර්ධනය අඩු වෙනවා. ඊට අමතරව ඇබ්බැහිවීමක් වෙන්න පුළුවන්. ඇස් දෙකක් දිහා බලලා කාගෙත් එක්ක හිනාවෙන එක, කතා කරන එක වර්ධනය වෙන්නෙ නැහැ.
ඒ වගේම දරුවො හැම තිස්සේම ෆෝන්එක ඔබ ඔබා හිටියොත් ඒ ගොල්ලන්ට බෝනොවන රෝග වැඩිවෙනවා. අපි පසුගිය කාලයේ නොඇසූ විදිහට දරුවන්ගේ ස්ථූලතාව වැඩිවෙනවා. එකතැන ඉන්න ළමයින්ට දියවැඩියාව, අධිරුධිර පීඩනය වැඩි වෙනවා.
දරුවන් රෑ වෙනකම් ෆෝන්එක ඔබ ඔබ එක එක දේවල් බල බලා හිටියොත් නින්ද යෑම නැති වෙනවා. ඊට පස්සේ ඉස්කෝලේ වැඩ කරන්නෙ නැහැ. දවල්ටත් නිදිමතේ. ඉස්කෝලේ යන්න කම්මැළි වෙනවා. ඒ නිසා ඉගෙන ගන්නේ නැහැ. දෙමාපියන් සහ ගුරුවරුන් සමග සහසම්බන්ධය නැති වෙනවා.”
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්




















