BREAKING NEWS
Search

සුනාමියට වසර 21ක්. අද පෙ.ව. 9:25ට කරන්න යන දේ මෙන්න

58

සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 21ක් සැපිරේ.

2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව සිදුවූ ප්‍රබල භූ කම්පනයත් සමග ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දරුණු සුනාමි තත්ත්වයක් ඇති වුණි.

ඉන් මෙරට පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මියගොස් තවත් 5,000ක පමණ පිරිසක් අතුරුදන්වූ අතර දේපොළ රැසක් ද විනාශයට පත් විය.

ඒ අනුව සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම සඳහා 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වනදා ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කෙරුණි.

සුනාමි ව්‍යසනයෙන් මෙන්ම මේ දක්වා රටේ සිදුවූ විවිධ ව්‍යසනයන් හේතුවෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් මෙවරද “ජාතික සුරක්ෂිත දින” සැමරුම් උත්සවය අද (26) පෙරවරු 8:30 සිට පෙරවරු 11:00 දක්වා ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්ය.

මේ අතර දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

එමෙන්ම මෙම ආපදාවෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් අද පෙරවරු 9:25 සිට පෙරවරු 9:27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර  පැරෑලිය ප්‍රදේශයේදී සුනාමි ජල කඳට හසුවී විනාශයට පත්වූ දුම්රිය අනතුර සිහිපත් කිරීම සඳහා මරදාන දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 6:30ට මාතර බලා දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *