ඉතින් මේ ක්‍රියාදාමය මම වසර කිහිපයක් තිස්සේ කරගෙන ආවා. ඒකෙ ආසන්නම අවස්ථාව තමයි පහුගිය නොවැම්බර් හත් වැනිදා සිදුකරපු ආපදා පුහුණු වැඩසටහන. මම හිතන්නේ මගේ ක්‍රියාදාමය සාර්ථකයි කියලා. ඇත්තටම පාසල් අධ්‍යාපනයට පමණක් කොටුවුණු ළමා ජීවිතයට මෙවැනි ප්‍රායෝගික අත්දැකීම් තුළින් ලබා දෙන පන්නරය මොන තරම් වටිනවද යන්න මෙම ක්‍රියාවලිය තුළින් ගම්‍යවනවා.
පාසලක් යනු පොතපතෙහි අධ්‍යාපනයට පමණක් සීමා නොවුණු කට පාඩං චරිත ගොඩනැඟෙනවා වෙනුවට ප්‍රායෝගික අත්දැකීම් සමූහයක් සමගින් ඔහුට හෝ ඇයට මෙන්ම සමාජයට ද යහපතක් කළ හැකි උගත් බුද්ධිමත් පුද්ගලයන් ගොඩනැඟීම අධ්‍යාපනයේ මූලික පරමාර්ථය විය යුතු වන්නේය. අධ්‍යාපන ප්‍රතිපත්ති චක්‍රලේඛවලට පමණක් කොටු නොවිය යුතුය යන්න අපගේ මතය වන අතර මෙවැනි ප්‍රායෝගික ක්‍රියාදාමයන් තුළින් ගොඩනඟන දරුවා හෙට දවස ලස්සන කරනවා නොඅනුමානය. එවැනි ක්‍රියාදාමයන් තුළ හිඳිමින් දරුවන් හරි මඟ යවන මෙවැනි මුල් ගුරුවරුන් රටට ආදර්ශයක් නොවන්නේද? මේ කතාව අවසන් කළ යුත්තේ එම පාසලේ දොළොස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පියුමි නිසංසලා සිසුවියගේ මේ කතාවට ඉඩක් තබමිනි.
“ඇත්තටම මේ වැඩසටහන ඉතාමත් කාලෝචිත වැඩසටහනක් හැටියට තමයි අපි දකින්නෙ. විදුහල්පතිතුමා මේ ක්‍රියාදාමය පටන් අරන් වසර කිහිපයක් වෙනවා. අපි නිරන්තරයෙන් මේ ක්‍රියාදාමය පුහුණු වෙනවා. මේකෙදි අපිට මේ ප්‍රදේශවලදී ඇතිවන ස්වභාවික විපත් පමණක් නෙමෙයි ප්‍රබල භූ කම්පන සුනාමි ගිනිකඳු වගේ දේවල් සිදුවන ස්ථානවලදී අපි හැසිරිය යුතු ආකාරය වගේම අපේ ආරක්ෂාව තහවුරු කර ගන්නා ආකාරය පිළිබඳ පුහුණු වැඩසටහන් දේශන තුළින් කියා දෙනවා. මේක අපේ ජීවිතවලට ලොකු අත්දැකීමක් වගේම වටිනා අවස්ථාවක් කියලා මට හිතෙන්නේ මේවැනි වැඩසටහන් ලංකාව පුරා පාසල් තුළ ක්‍රියාත්මක කරනවනම් අපේ රටේ ඉන්න නංගිලා, මල්ලිල, අයියලා, අක්කල හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතෙන්නේ.”

නයනදුල සෙන්දනායක

















